Do Not Copy

සුහද යැදුම්

සම්පාදනය
ගරු සිරිල් පෙරේරා නි.ම.නි.
පියතුමා

Nihil Obstat,
Rev.Fr.Benedict Jayatilaka
Censor Librorum
26th November, 1989

Imprimatur
Rt.Rev.Dr.Nicholas Marcus Fernando
Archbishop of Colombo
6th December, 1989

Cum Permisu Superiorum
Very Rev.Fr.Anslem Silva O.M.I.
Provincial
8th December, 1989

Printed
At
Sirimuthu Printing Training Centre
St. Lawrence’s Church
Colombo 6

“වෙහෙස වන්නාවුද බර
උසුලන්නා වූ ද සියල්ලෙනි මා
වෙතට එන්න. එවිට මම ඔබට 
සැනසීම දෙමියි” ජේසුතුමා ප්‍රකාශ
කලේ ජිවිත  ප්‍රශ්නයන්ට එකම 
විසඳුමක්   වශයෙනි. ජිවිතයේ ඇතිවන ප්‍රශ්ණ වලින් පරාජිත 
කොට, දුක සැප එක ලෙස පිළිගැනීමට ඒ සියල්ලේදී
සමිඳුන්ට ප්‍රශංසා කිරීමට යාච්ඤාව අපට උගන්වයි

වැල්ලවත්තේ ශා. ලෝරන්ස් දෙව් මැදුරේ මීසම්පති ගරු සිරිල් පෙරේරා නි.ම.නි. පියතුමා සම්පාදිත 
“සුහද යැදුම් “ නමැති මේ පොතෙන් අප බලාපොරොත්තු 
වන්නේද   එම දේව සබැදියාව තරකර ගැනීමයි.  එබැවින් මේ යාච්ඤා පොත දිනපතා ප්‍රයෝජනයට ගෙන, ඔබ විශ්වාසය
තුළින්   සමිඳුන්ට කිට්ටුවන්න. දෙවි සමිඳාණෝ ඔබ සුරකින සේක.

නිකලස් මාක්ස් ප්‍රනාන්දු
කොළඹ අගරද ගුරු හිමි
1980 ජූලි 10 වෙනිදා

ජීවිතය මෙන්ම උදාවන සෑම දිනයක්ම දෙවි සමිදාණන්ගේ තිළිණයකි. මේ දවස අර්ථවත් ලෙස ගත කිරීම ලැබූ සැමගේ යුතුකම වෙයි. එහෙත් ජීවිතය මෘදු හෝ සැප පහසුකමින් පිරුණ එකක් නොවේ. “ඔබ ජිවිත කුරුසිය රැගෙන මා වෙත එන්නැයි” ජේසු සමිදාණෝ වදාලේ එම නිසාය. අප ජිවිත ගමනට දේව මගපෙන්වීම හා දේව ශක්තිය ලබා ගැනීම අත්‍යවශ්‍යය වේ. එවැනි අවස්ථාවලදී දෙව් මව් සහ ශුද්ධවන්තයන්ගේ සහය පැතීමද, අප කතෝලික පිළිවෙතයි. සුහද යැදුම් නමැති මෙම යාච්ඤා පොත.අප දේව ජනතාවට පිළිගැන්වීමෙන් බලාපොරොත්තුවන්නේ දෙවි සමිඳුන් සමඟ අපගේ සුහදතාවය වැඩි දියුණු කර ගැනීමටයි. “මිනිසාට බැරි දෙය දෙවි සමිඳුන්ට කළ හැකි” බව ස්ථිර ලෙස සිතෙහි තබාගෙන, දුකේදී සැපේදී සමිඳුන් වෙත අප සිත් එසවීමයි. මෙමගින් ඔබට ඵලදායක දිවියක් ගත කිරීමට දෙවි සමිදාණෝ පිහිට වන සේක්වා.

ගරු සිරිල් පෙරේරා
නි.ම.නි. පියතුමා

අළුත් ඉරක් පයලා           අළුත් දිනක් උදාවෙලා
මේ ලස්සන දවස     පුරා
තබමු පා සමිඳු         කරා

සාන්ත කුරුසය

සාන්ත කුරුසේ අඩයාලමින් අපේ සතුරන් ගෙන් අප ගලවා දේවා.අපගේ දෙවි ස්වාමිනි, පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රිතු සාන්තුගෙත් නාමයෙන් ආමෙන් ජේසු.

ශුද්ධාත්මයාණන් වහන්සේට යාච්ඤාව

ප්‍ර:- ශුද්ධාත්මයාණන් වන දෙවියනි, වැඩම කර ඔබගේ විශ්වාසකයන් ගේ හෘදයන් පුරවාලුව මැනව.
උ:- ඔබගේ ප්‍රේමයේ ගින්න ඔවුන් තුළ දැල්වුව මැනව.
ප්‍ර:- ඔබගේ ජීව දායක ආත්මය යැව්ව මැනව. එවිට ඔවුහු මවනු ලබන්නෝය.
උ:- තවද ඔබ  පෘථිවියේ විශාලකම අලුත් කර වදාරන සේක.

යාච්ඤා කරම්හ

ශුද්ධාත්මයාණන්ගේ ආලෝකයෙන් විශ්වාසකයන්ගේ හෘදයන් පැහැදෙව්වා වූ දෙවියනි. එම ශුද්ධාත්මයාණන් තුළ සියල්ල ගැන හරි තේරුම් ගැනීම ලබන්නටත්, උන්වහන්සේගේ ශුද්ධවූ සැනසිල්ලෙන් ප්‍රීති සන්තෝෂ වෙන්ටත්. අපට සලස්වා වදාල මැනව. මේ කී දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තු තුමන් උදෙසාම ලැබේවා. ආමෙන්.

පරමණ්ඩල ආරාධනාව

ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමය ආරාධිත වේවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිදී ද ඉටුවේවා! අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව.පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව.

දේවදුත ආචාරය

නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පූණීවන්තියනි, ස්වාමීන්වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතුරෙන් ආශීර්වාලද්දී ඔබවහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවන් ජේසුස් ආශීර්වාද ලද්දාහූමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපිවූ අප උදෙසා දැනුත්, අපේ මරණ වේලෙහිත් යාච්ඤා කළ මැනව. ආමෙන්. 

ත්‍රීත්ව ස්ත්‍රෝත්‍රය

පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු නම් ත්‍රීත්ව එක දෙවියොත්තමයාණන්ට ස්ත්‍රෝත්‍ර වේවා. ආදිවූවාක් මෙන් දැනුත් නිතිපතාත් අනන්ත කාලයක්ම වේවා! ආමෙන්.

විශ්වාස ලක්ෂණය

අහස පොළොව මැවූ සියලු බලැති දෙවි පියාණන් කෙරෙහිද, උන්වහන්සේගේ එකම පුත්‍රවූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් කෙරෙහිද විශ්වාසය කරමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් ගැබ බැස කන්‍ය මරියාවන්ගෙන් උපන්සේක.පොන්සියෝ පිලාත් යටතේ වද විඳ කුරුසියෙහි ඇණ ගැසුම් කා උකුත් වි තැන්පත් කරනු ලැබූ සේක. පාතාලයට බැස තුන්වැනිදා මළවුන් කෙරෙන් නැගිට වදාරා. ස්වර්ගයට නැගී, සියලු බලැති දෙවි පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින සේක.එහි සිට ජිවතුන් ද, මළවුන්ද විනිශ්චය කරන්නට නැවත වඩිනසේක.
ශුද්ධාත්මයාණන් කෙරෙහිද, ශුද්ධවූ කතෝලික සභාව කෙරෙහිද, සාන්තුවරයන්ගේ සහභාගිත්වය කෙරෙහිද, පාප ක්ෂමාවෙහිද, මළවුන්ගේ නැවත නැගිටීම කෙරෙහිද, මතු පැමිණෙන   සදා ජීවිතය කෙරෙහිද විශ්වාස කරමි.  ආමෙන්.

මංගල ආරාධනාව

මංගල්‍යාස්තු රාජේශ්වරියනි,ක්‍රපදයා මතාවෙනි. අපේ ජිවිතයෙනි.අපේ අමෘතයෙනි. අපේ ආධාරයෙනි, මංගල්‍යස්තු පරදේශ වාසීවූ අපි ඒවා අම්මාගේ පුත්‍රයෝ ඔබටම අඬ ගසම්හ. මේ කඳුළු විලෙහි අඬා වැලපී ඔබටම සුසුම් ලම්හ. එසේ හෙයින් අපගේ මධ්‍යස්ථිනි, මේ ඔබගේ දයාබර නේත්‍රවල් අප දෙස යොමු කළ මැනව.තවද මේ පරදේශය පසුවූ ඉක්බිති, ඔබගේ ශ්‍රී කුසයෙහි ආශීර්වාදලත් ඵලවත් ජේසුතුමන්ගේ දශීනය  අපට ලබාදුන මැනව. දයාවන්තිනි. පරදු:ඛ දූ:ඛිතිනි, මධුරවූ නිත්‍ය කන්‍ය මරියනි, සාන්තවූ දේව මෑණියනි, ක්‍රිස්තු වාක්දාත වලට අප හේතු වන පිණිස අප උදෙසා යාච්ඤා කළ මැනව. ආමෙන්.

රැකවල් දේවදුතයාට යාච්ඤාව

මාගේ රැකවල් දේව දුතයෙනි. ඔබ භාරේ ඉන්නාවූ මට අද දින (රෑ) ඔබගේ පරම දයාබරකමින් ඥාන එලිය දී මා ආරක්ෂා කර නඩත්තු කර ආණ්ඩු කරනවා සොඳේ. ආමෙන්.

නාමසාන්තුවරයාට යාච්ඤාව

මාගේ නාමසාන්තුවරයාණෙනි, ප්‍රසාද ස්නානයෙන් ඥාන උපත හා ඔබගේ උතුම් නාමයත් මට ලැබී ඔබගේ සරණය අතිශයින් අදහම්.ඔබගේ ධම්ගුණ සමූහය දැක මාගේ නාමයට සුදුසුවූ ධම්ගුණ පුරුදු කරවා අන්තිමේදී ඔබ හා මෝක්ෂ වාසීන් සමඟ මොක්ෂමි පන්නයට පැමිණෙන පිණිස මට පිහිටවුව මැනව. ආමෙන්.

තුන්කාල ආරාධනාව

(උදය, දවල්,සවස, සීනුව ශබ්ද කරනවිට කිය යුතුයි.)

ස්වාමින්ගේ දුතයා මරියතුමන්ට සැල කළේය.
එවිට ස්ප්‍රීතුසාන්තු විසින් ගර්භණී වුණාය.
භාවනා කරන්න. (නමෝ මරිය කියනු)

මේ මම ස්වාමීන්වහන්සේගේ දාසීමි. ඔබ කී වචනය ලෙස මට සිදුවේවා.

භාවනා කරන්න. (නමෝ මරිය කියනු)

වචනය තෙමද මාංශවුණේය. අප සමඟද වාසය කළේය.

භාවනා කරන්න. (නමෝ මරිය කියනු) 
කවය : ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අප  හේතුවන්ත වෙන ,
ප්‍රතියුත්තරය : ශුද්ධවූ දේව මතාවෙනි, අප නිසා යාච්ඤා  කළ මැනව.

යාච්ඤා කරම්හ

ස්වාමිනි, සුර දුතයා සැලකළ වචනයෙන් ඔබගේ පුත්‍රවූ ක්‍රිස්තු තුමන්ගේ දුක් ප්‍රාප්තිය හා කුරුසිය උදෙසා මෝක්ෂ ප්‍රතාප මහිමතාවයෙන් මාංශෝස්ථා නය ලබන ලෙස අපගේ ආත්මවල් ඔබගේ කරුණා ප්‍රසාදයට හේතු යුක්ත කොට ගෙන වදාළ මැනව.
මේ කීදේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා. ආමෙන්
(ත්‍රිත්ව ස්තෝත්‍රයක් කියනු)

පාස්කු කාලයේ තුන්කාල ආරාධනාව

(පාස්කු ඉරිදා පටන් ස්ප්‍රිතුසාන්තු මංගල්‍යයට පසු එන සෙනසුරාදා සවස දක්වා භාවිතා කළ යුතුය.)

පරලෝක රජෙශ්වරිනි, ආනන්ද සන්තෝෂ වේවා. ආලේලූයා.

ඒ කිම්දයත් ඔබගේ ශ්‍රී කුසෙහි වාසය කරන්ට අභිප්‍රාය කළතෙම. ආලේලූයා.

යාච්ඤා කරම්හ

ස්වේශ්වරවූ දෙවියනි, ඔබගේ පුත්‍රවූ ක්‍රිස්තුතුමන්ගේ මාන්සොස්ථානයෙන් ලෝකය සංතෝෂ කරන්ට කරුණා අභිප්‍රාය කර වදාළා වේද. උන්වහන්සේගේ මාතාවන් වන කන්‍යා මරියතුමන් උදෙසා අපට අනන්ත කාල සතුටු සිත් දෙවා වදාළ මැනව.

මේ කී දේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා. ආමෙන්
(ත්‍රිත්ව ස්තෝත්‍රයක් කියනු.)

භෝජන ආශීර්වාදය

ස්වාමිනි, මටත් මේ භෝජනයටත් ආශීර්වාද ලැබේවා. මෙවන් භෝජන මා ආක්‍රමයෙන් අනුභව නොකොට එයින් ඔබට ස්ත්‍රෝත්‍ර වෙන පිණිස වරම් සලස්වනවා සොඳේ. පරමණ්ඩල කියනු.

භෝජන ස්ත්‍රෝත්‍රය

ස්වාමිනි, ඔබගේ උදාර හස්තයෙන් ලැබුණ මේ උපස්ථානය හා නොයෙක් උපකාර රාශියක් උදෙසා, ඔබට ස්ත්‍රෝත්‍ර කියමි. අපට ආධාරවූවන්ට ඔබ ආධාරව සියලු ජිවතුන්ට දිව රැකදීම මළවුන්ටත් සැනසීම දුන මැනව. නමෝ මරිය කියනු.

ස්ප්‍රීතු සාන්තු වහන්සේට ගීතිකාව

“ස්ප්‍රීතු සාන්තු දෙවියනි, වැඩම කළ මැනව …. ඔබගේ ආලෝකයේ රැස් දහර ස්වර්ගයෙන් අප වෙත එවුව මැනව……”

“දිළිඳුන්ගේ පියාණෙනි, වැඩම කළ මැනව …… සෑම දීමනා දානය කරන්නාණෙනි, වැඩම කළ මැනව.
අප හෘදයන්ගේ ආලෝකයාණෙනි, වැඩම කළ මැනව”

“අති කරුණාවන්ත සැනසිලිකාරයාණෙනි, අපගේ ආත්මයෙන්ගේ මධුර මිතුරාණේ, සුමිහිරි සහන දයාකයාණෙනි, වැඩම කළ මැනව….”

“අපගේ වෙහෙසීමේදී, ඔබ සැතපීම වේ…..
අපගේ උෂ්ණතාවේදී , ඔබ සිසිල වේ……
අපගේ වැලපීමේදී, ඔබ සැනසීම වේ……”

 “අති අසිරිමත් ආලෝකයාණෙනි, ඔබව විශ්වාස කරන්නන්ගේ හෘදයන් සම්පුර්ණ-යෙන්ම ආලෝක කළ මැනව…..”

“මනුෂ්‍යයා තුළ, ඔබගේ රැකවරණය නැතිව, කිසිම යහපතක් නොමැත්තේය. කිසිම නිර්මල බවක් නොමැත්තේය…”

“අපගේ කැළැල් සේදුව මැනව….
අපගේ වියළි හද තෙත් කළ මැනව….
“අපගේ තුවාලය සුව කළ මැනව…”

“අපගේ මුරණ්ඩුකම මෙල්ල කළ මැනව….. අපගේ
ඇල්මැරුණු හද ප්‍රේමයෙන් දැල්වුව මැනව.
අපගේ හරි වැරදි අදහස් හරිගස්සා ලනු මැනව….”

“ඔබ කෙරෙහි බලාපොරොත්තු වන්නාවූ ඔබගේ 
විශ්වාසකයන් වන අපට ඔබගේ  ශුද්ධවූ දීමනා සත දානය කළ මැනව….”

“ධර්මිෂ්ඨ ජිවිතයේ පින් කුසල් අපට ලබා දුන මැනව.
ශුද්ධවන්ත මරණයක්ද අපට ලබා දුන මැනව…..
නිරතුරු ප්‍රීති සන්තෝෂයද අපට ලබා දුන මැනව.”

“….ආමෙන්…. ආලේලූයා……”

උදය ආරාධනාව 

සියලු දේ මවා පාලනය කරන දෙවියනි, ඔබගේ කරුණා අදහසින් මා ලැබූ උපකාර රාශිය උදෙසාද, විශේෂයෙන් පසුගිය රාත්‍රියේ මා නසින්නට ඉඩ නොදී ආරක්ෂා කළ නිසාද, අනේක වරක් ඔබට ස්තුති කරමි. ඔබගේ අණ පනත් ශේෂයක්වත් නොවරදවා මේ දවස ගත කරන ලෙස පොරොන්දු වී මාගේ කල්පනා වචන හා ක්‍රියා සියල්ලම ඔබ ස්ත්‍රෝත කොට පුදමි එසේ හෙයින් මාගේ ගතට හා ප්‍රාණයට යම් විපතක් නොයෙදී ඔබගේ කැමැත්ත පරිදි ධර්මයෙන් පැවත මා මෝක්ෂ සුගතියට සුදුස්සෙකු වන පිණිස කරුණාකර වදාළ මැනව ආමෙන්. 

විශ්වාස උච්චාරණය

මාගේ දෙවිස්වාමිනි, ශුද්ධවූ සභාව විසින් අපට උගන්වන සියලු සත්‍යතාවල් ඔබවහන්සේ එම ශුද්ධවූ සභාවට දන්වා වදාළ නිසා ඒවා සියල්ලම විශ්වාස කරමි. ආමෙන්.

බලාපොරොත්තුවීමේ උච්චාරණය

මාගේ දෙවි ස්වාමිනි, සව්දයා යහපත්වූද, සව්වල්ලභ වූද, ඔබවහන්සේ අපට නිත්‍ය මෝක්ෂ ජිවිත සහ එහි පැමිණෙන්නට ආධාරය දෙවා වදාරන්ට පොරොන්දු වුණු බැවින් ඔබ වහන්සේගේ අප්‍රමාණ කරුණාවෙන් මේවා අපට ලැබේය කියා බලාපොරොත්තු වෙමි. ආමෙන්.

ප්‍රේම කිරීමේ උච්චාරණය

ස්වේශ්වර වූ දෙවියනි, ඔබවහන්සේගේ අනන්ත දයා යහපත්කම නිසා සියලුදේට වැඩියෙන් ඔබවහන්සේට මම ආදරේ වෙමි. ඔබවහන්සේගේ දයාව නිසා මම මට ඇති දයවයේ පහරටත් දයාවෙමි.
ආමෙන්.

(බයිබලයෙන් කොටසක් කියවා මොහොතක් මෙනෙහි කරන්න)

භාවනාව සඳහා ශු. බයිබලයෙන් කොටස්

  • ඔබ පොලවේ ලුනුය. ලුනෙහි රස නැතිවූවහොත් එය රස ගන්වන්නේ කුමකින්ද? (මතෙව් 5:13)
  • ඔබ ලෝකයේ ආලෝකයය, කන්දක් මත පිහි නුවරක් සැඟවිය නොහැකිය. මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති, එවිට එය නිවැසි සියල්ලන්ටම එලිය දෙයි (මතෙව් 5:14 – 15)
  • යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත් ඔහුට අනිත් කම්මුලද හරවන්න. (මතෙව් 5:39)
  • මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩද, කාවෝද ඒවා කා දමති, සොරුද උමංකැන එවා සොරා ගනිති. එහෙත් ස්වර්ගයෙන් ඔබට වස්තු රැස්කර ගන්න. එහිදී මලකඩවත් සොරුවත් ඒවා නාස්ති නොකරයි.
    (මතෙව් 6:19 – 20)
  • ජිවනදායක භෝජනය මම වෙමි. මා වෙත පැමිණෙන යමෙක්වේද. ඔහුට සාගිනි නොවන්නේය. මා අදහන යමක් වේද ඔහුට කිසිකලෙකත් පිපාස නොවන්නේය. (ජුවාම් 6:35)
  • මිදිවැල මමය ඔබ එහි අතුය. යමෙක් මා තුළ සිටින්නේද මම ඔහු තුළ සිටිම්ද ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. (ජුවාම් 15:5)
  • සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න. (මතෙව් 22:21)
  • අස්වැන්න බොහෝය. ගොවීහු විරලය. එබැවින් අස්වැන්න හිමියානන්ට යාච්ඤා කරන්න. (ලූක් 10:2)
  • නුඹේ මුලු හෘදයෙන්ද, මුලු සිතින්ද, මුලු බුද්ධියෙන්ද, නුඹේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. මෙය ශ්‍රේෂ්ඨතම පළමු ආඥාවය. දෙවන ආඥාවද එයට සමානය, එනම් නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අස්වැසියාටත් ප්‍රේම කරන්න. (මතෙව් 22:37-38)
  • මගීයද, සත්‍යයද, ජීවනයද මම වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙත නොපැමිණෙන්නෝය. (මතෙව් 14:6)
  • ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුලු වීමට වඩා ඔටුවකු ඉඳිකටු මලින් රිංගා යාම පහසුය (ලූක් 18:25)
  • බාලයන් මා වෙත එන්න ඉඩහරින්න මන්ද ස්වගී රාජ්‍ය මෙවැන්නන්ගේය. (ලූක් 17:16)
  • ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නවුන් උදෙසා යාච්ඤා කරන්න. (මතෙව් 5:44)
  • ඔබේම ඇසේ තිබෙන ලී කොටස නොබලා සහෝදරයාගේ ඇසේ තිබෙන ලී කුඩ සොයන්නේ මන්ද? (ලූක් 6:41)
  • රෝගීන්ට මිස නිරෝගින්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැත.
  • වෙහෙසවන්නාවූද, බර උසුලන්නාවුද සියල්ලෙනි, මා වෙත එන්න, මම ඔබට සැනසීම දෙන්නෙමි. (මතෙව් 11:28)
  • අහසත් පොලවත් පහවී යන්නේය. එහෙත් මාගේ වචන කිසිදා පහව නොයන්නේය. (මතෙව් 24:36)
  • තමා උසස් කරගන්නා පහත් කරනු ලබන්නේය. තමා පහත් කරගන්නා උසස් කරනු ලබන්නේය. (ලූක් 13:11)
  • යමෙක් මා අනුව එන්ට කැමැත්තේද ඔහු තම කම් නසා දිනපතා සිය කුරුසිය දරාගෙන මා අනුව අවාවේ. (ලූක් 9:23)
  • ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. සොයන්න ඔබට සම්බවේ. තට්ටු කරන්න ඔබට දොර අරිනු ලැබේ. (ලූක් 11:9)
  • තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ගෝලයකු වන්නට බැරිය. (ලූක් 14 :33)
  • මනස්ථාපනය වීමට වුවමනා නැතැයි සිතන සිල්වතුන් අනුනව දෙනෙකුට වඩා මනස්ථාපනය වන එක පව්කාරයකු ගැන ස්වර්ගියේ ප්‍රීතිය ඇති වන්නේය.
  • ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසිම සේවකයෙකුට නුපුලුවන.මන්ද පහු එක්කෙනෙකුට වෛරය කරන්නේය. එම නිසා දෙවියන් වහන්සේටත් වස්තුවටත් සේවය කරන්නට ඔබට බැරිය (ලූක් 16 :13)
  • සිය ජීවිතය රැක ගන්නට සොයන්නා එය නැතිකර ගන්නේය. සිය ජීවිතය නැති කර ගන්නා එය රැක ගන්නේය. (ලූක් 17:33)

දවස අර්ථවත් කර ගැනීමේ යාච්ඤාව

සමිඳුනි, ප්‍රඥාවේ උල්පතෙනි, ඔබගේ ශුද්ධවූ වචනය තුළින් ඔබ මට කථා කරන සේක. මෙදින ඔබ දෙන පණිවිඩය නිසි ලෙස තේරුම් ගැනීමටද, එමගින් අද දින මගේ දිවිය ඔබට ප්‍රසන්න ලෙසද, අර්ථවත් ලෙසද, ඵලදායි ලෙසද ගත කිරීමට ඔබගේ ශක්තියෙන් මා ප්‍රබෝධමත් කල මැනව. ආමෙන්

ශුද්ධාත්මයාණන් වහන්සේට යාච්ඤා

දවසේ සිදුවීම් සිහි කරමින් ආත්ම සෝදිසියක් කරන්න. (මිට අත්වැලක් ලෙස දේව පනත් සහ ශු. සභාවේ පනත් සිහි කරන්න.)

දවස් ගතකළ යහපත් දිවිය පිළිබඳ සමිඳුට තුති පුදන්න. සිදුවූ වැරදි ගැන මනස්ථාපව් සමිඳුන්ගෙන් සමාව යදින්න. 

දයාධික මනස්ථාපය

මගේ දෙවියනි ! මම ඔබ වහන්සේට අනදර කළ නිසා බොහෝ සේ වික්ෂෝප වෙමි. මාගේ පාප වලින් මා සදාකල නිරාගින්නට හිමිවූ හෙයින්ද මාගේ දයාබර ජේසුස් ක්‍රිස්තු ස්වාමි දරුවන් කුරුසියේ ඇණ ගැසූ හෙයින්ද, විශේෂ කොට සව්දයා යහපත්කම් ඇත්තාවූ ඔබට අනදර කළ හෙයින්ද සියලු පාප වලට මාගේ මුළු හෘදයෙන් ක්ෂමාව ඉල්ලමි. ඔබ වහන්සේ පිහිටෙන් මින් මතු පව් නොකර සිටින්ටත් පව් ප්‍රස්ථා වලින් වැලකී සිටින්ටත් ඒකාන්තයෙන්ම පොරොන්දු වෙමි. ආමෙන්.

රාත්‍රී ආරාධනාව

මනුෂ්‍යයන් නිදහස් කොට ගැලෙව්වාවූ ජේසුස් ස්වාමි දරුවෙනි, අද දවසේ මා විසින් කළ සියලු වැරදි ක්ෂමා කරවා.මේ රාත්‍රියේ සදි මරණයෙන් මා නොනැසී, නපුරු ස්වප්න ආදීවූ යක්ෂ පරික්ෂා වලට මා අසු නොවී, මාගේ ගතට හා ප්‍රාණයත් කිසි අපහසුවත් නැතුව නැගී සිට, ඔබට ස්ත්‍රෝත්‍ර කියන සැටියට කරුණාකර වදාළ මැනව. ආමෙන්

දේවමෑණියන් යාච්ඤාව

ස්වාමිදරුවන්ගේ සුවිශුද්ධවූ මෑණියනි. අපි ඔබගේ සරණය සොයමින් එමු. මහීමෝත්තමවූද ආශීර්වාද ලද්දාවූ කන්‍යාවෙනි, අපේ ඕනෑකම් වලදී අප කරන යාච්ඤා ඔබ ප්‍රතික්ෂේප නොකර සියලු අන්තරා වලින් නිතරම අප ගලවා ගත මැනව, ආමෙන්.

රැකවල් දේවදූතයාට යාච්ඤාව
(4 පිට බලන්න.)

නාමසාන්තුවරයාට යාච්ඤාව
(5 පිට බලන්න)

සිමියොන්ගේ ප්‍රශංසා ගීතය

සමිඳුනි, ඔබ පොරොන්දු වූ ලෙසම දැන් ඔබ දාසයා හට ඔබ නිදහස දී ඇත. ශාන්ත සිතින් යාමට මන්ද ගැළවීම මාගේ දෙනෙතින් මා දැක ඇත. එය සකල ජාතින් අබිමුවේ කළ ගැළවීමය.
විජාතීන්ට එළිය දෙන ආලෝකය ය. ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්ගේ මහිමය ය.

පූනර් ගීය

ස්වාමිනි, අවඳීවී සිටින විට අප ආරක්ෂා කරන්නා සේම අප නිදා ගන්නා විටත් රැකගත මැනව. එවිට සෑම විටම ක්‍රිස්තුන් වහන්සේට සේවය කරමින් උන්වහන්සේගේ සමාදානයෙහිද අපට සැතපෙන්නට පුළුවන.

අපි යාච්ඤා කරමු

ස්වාමිනි, අප ගෘහයට පැමිණ එහි සියලු සතුරු උවඳුරු වලින් අප නිදහස් කළ මැනව. ඔබගේ සියලු දේවදුතයන් මෙහි සිට ඔබගේ සාමයෙහි අප පිහිටුව මැනව. ඔබගේ ආශීර්වාද අප වෙත නිතර පවතීවා. මේ කී දේ අපගේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු තුමන් උදෙසාම අපට ලැබේවා. ආමෙන්.

(මලාවූ ඇය සිහිකර පරමණ්ඩලයක්, නමෝ මරියක් ත්‍රිත්ව ස්තෝත්‍රයක් කියන්න.)
ස්වාමිනි, නිත්‍ය සැතපීම ඔවුන්ට දුන මැනව. නිත්‍ය ලෝකය ඔවුන් පිට බැබලෙව්ව මැනව. ඔවුන් සමාදානයේ සැතපෙන ලද්දේව.

දේවාශීර්වාදය

පූජාප්‍රසාදි තුමා :
පියාණන්ගේ ද
පුත්‍රයාණන්ගේ ද
ශුද්ධාත්මයාණන්ගේ ද
නාමයෙන්

ජනතාව :
අපි යදිමු                        ආමෙන්

පු : අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙව්පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ ජිවදානයත් ඔබ සියල්ලන් සමඟ පවතීවා.

ජ : ඔබ සමඟ ද පවතීවා.

පු : සහෝදරවරුනි, මේ දිව්‍ය පූජා යාගය සිදු කිරීමට අප නිසි ලෙස සූදානම් වන පිණිස. අපි අපේ පව් සිහිකර කමාව අයඳීමු.

ජ : සියලු බලැති දෙවියන්වහන්සේට ද, සහෝදරවරුනි ඔබටද, මා පව් කළ බව කියමි. සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙයින් භාග්‍යවත් නිත්‍ය කන්‍යා මරිය තුමියද සියලු සුරදුතයන් සහ ශුද්ධවන්තයන්ද, මාගේ සහෝදර වරුනි ඔබද, මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවිවහන්සේට යාච්ඤා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි.

පු : සියලු බලැති දෙවියන්වහන්සේ අපට කරුණාකර, අපගේ පව් කමා කර, සදා ජීවනයට අප පමුණුවන සේක්වා.

ජ : ආමෙන්.

පු : ස්වාමිනි, මනස්තාපවූවන් සැනසීමට පැමිණි ඔබ. අපට කරුණා කළ මැනව.

ජ : ස්වාම්නි, කරුණා කළ මැනව.

පු : ක්‍රිස්තුනි, පව්කරුවන් කැඳවීමට පැමිණි ඔබ, අපට කරුණා කළ මැනව.

ජ : ක්‍රිස්තුනි, කරුණා කළ මැනව.

පු : ස්වාමිනි, පියාණන් ඉදිරියේ අප වෙනුවෙන් අයදින ඔබ, අපට කරුණා කළ මැනව.

ජ : ස්වාමිනි කරුණා කළ මැනව.

පු : සියලු බලැති දෙවියන් වහන්සේ අපට කරුණාකර, අපගේ පව් කමා කර, සදා ජිවිතයට අප පමුණුවන සේක්වා !

ජ : ආමෙන්.

පු : ස්වාමිනි, කරුණා කළ මැනව.

ජ : ස්වාමිනි, කරුණා කළ මැනව.

පු : ක්‍රිස්තුනි, කරුණා කළ මැනව.

ජ : ක්‍රිස්තුනි, කරුණා කළ මැනව.

පු : ස්වාමිනි, කරුණා කළ මැනව.

ජ : ස්වාමිනි, කරුණා කළ මැනව.

සුරදූත ගීය

ස්වර්ගයෙහි දෙවියන්වහන්සේට මහිමය වේවා. මෙලොවෙහි උන්වහන්සේගේ දයාව ලත් දනන් හට සාමය වේවා ! දෙවි ස්වාමිනි, ස්වර්ගීය රජාණෙනි, සියලු බලැති දෙවි පියාණෙනි, අපි ඔබට ප්‍රශංසා කරමු. ඔබගේ ගුණ වර්ණනා කරමු. ඔබට වන්දනා කරමු. ඔබගේ මහිමය ප්‍රකාශ කරමු. ඒක ජනිත පුත්‍ර වූ ස්වාමිනි, ජේසු ක්‍රිස්තුනි, දෙවි ස්වාමිනි, දේවාජබාලකයාණෙනි පියාණන්ගේ පුත්‍රයාණෙනි, ලොවේ පව් හරින ඔබ අපගේ යැදුම් පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින ඔබ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයාණන් සමඟ දෙවි පියාණන්ගේ මහිමයෙහි වැඩ වසන්නාවූ ජේසු ක්‍රිස්තුනි, එකම ශුද්ධවූ තැනැන්වහන්සේ ඔබය. එකම ස්වාමින් වහන්සේ ඔබය. එකම පරමෝත්තමයාණන් වහන්සේ ඔබය. ආමෙන්.  

පු : යාච්ඤා කරම්හ ………

ජ : ආමෙන්.

දේව වාක්‍ය මෙහෙය

කියවන්නා : 1 වන කියවීම

කි : දේව වාක්‍යය එසේය.
ජ : දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.

2 වන කියවීම

කි : දේව වාක්‍යය එසේය
ජ : දෙවියන්වහන්සේට ස්තෝත්‍ර වේවා.

අපි සවන් දෙමු.

ආලේලූයියා ගීය

පු : සියලු බලැති දෙවියනි, ක්‍රිස්තුන් වහන්සේගේ ශුභාරංචිය යෝග්‍ය ලෙස ප්‍රකාශ කරන්නට මට හැකි වන පිණිස මාගේ හෘදයද, දෙතොලද පවිත්‍ර කළ මැනව.
පු : ස්වාමීන් වහන්සේ ඔබ සමඟ වන සේක්වා.
ජ : ඔබ සමඟ ද වන සේක්වා.
පු : සුවිශේෂක ……. විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය.
ජ : ස්වාමිනි, ඔබට මහිමය වේවා.
පු : ක්‍රිස්තුන් වහන්සේගේ සුභාරංචිය මෙසේය.
ජ : ක්‍රිස්තුනි, ඔබට ප්‍රශංසා වේවා.
පු : සුවිශේෂ වාක්‍ය මගින් අපේ පව් නැසේවා.

දේශනය 

විශ්වාස ලක්ෂණය

එකම දෙවියන්වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි./ අහස හා පොළොවද පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සියලු බලැති පියාණන් කෙරෙහි විශ්වාස කරමි./ දෙවියන් වහන්සේගේ ඒක ජනිත පුත්‍රයාණන්ද එකම ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි.

උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන් ගෙන් ජනිතවූ සේක./ උන්වහන්සේ දෙවියන්ගේත් දෙවියෝ ද ආලෝකයෙන් / ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක.

ජනිත වූ නමුත් මවනුනොලැබ පියාණන් සමඟ එකම භවත්වය ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ හේතුකොට ගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලැවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළ සේක.

ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආනුභාවයෙන් කන්‍යා මරියාවන්ගෙන් මිනිස් බව ගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූ සේක.

තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියු පිලාතු යටතේ කුරුසයෙහි ඇණ ගසනු ලැබ, මරණ වේදනා විඳ, උකුත්වී තැන්පත් කරනු ලැබූ සේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූ සේක.

උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. ජිවතුන්ද මළවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විත්ව නැවත වඩින සේක.. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සමිඳාණන්ද ජිවදායකයාණන් ද වූ ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි.

උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමඟ එකම වන්දනාවත් මහිමයත් ලබන සේක.

උන්වහන්සේ දිවැසිවරුන් මඟින් කථා කළ සේක. අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වූ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි.

පව් කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි.

තවද මළවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජිවිතයද බලාපොරොත්තු වෙමි.
ආමෙන්.

විශ්වාසකයන්ගේ යාච්ඤාව 

ස්තෝත්‍ර යාගික පිළිවෙත

පු : ලෝකාග්‍ර දෙවි ස්වාමිනි, අප ඔඅබට පුදන මේ පූපය, ඔබගේ ඉමහත් දයාවෙන් අප ලබාගත් හෙයින්ද. පොළොවේ සරු සාරයෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් හා සෑදුනු මෙයින්ද, අප සඳහා ජිවනදායක පූපය බවට පත්වන මෙයින්ද, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා !

අපි පුදමු

ජ : දෙවියන්වහන්සේට සදා ප්‍රශංසා වේවා !
පු : ස්වාමින්වහන්සේ අපගේ මනුෂ්‍ය ස්වභාවයට සහභාගිවීමට කරුණාකළ සේක. මේ පැන් පොදෙන් සහ මිදි රසෙන් වන අභිරහස මඟින් උන්වහන්සේගේ දේවත්වයට සහභාගී වීමට අපට හැකිවෙව්වා.
පු : ලෝකාග්‍ර දෙවි ස්වාමිනි, අප ඔබට පුදන මෙම මිදි රස ඔබගේ ඉමහත් දයාවෙන් අප ලබාගත් හෙයින් ද, මිදි වැලේ පලදාවෙන් හා මනුෂ්‍යන්ගේ ශ්‍රමයෙන් හා සෑදුණු මෙයින්ද අප  සඳහා ආත්මික පානය බවට පත්වන මෙයින්ද අප සඳහා ආත්මික පානය බවට පත්වන මෙයින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
ජ : දෙවියන්වහන්සේට සදා ප්‍රශංසා වේවා.
පු : ස්වාමිනි,බැගෑපත් හදින්ද, පසුතැවිලි සිතින්ද යුතුව සිටින අප පිළිගනු මැනව. දෙවි ස්වාමිනි, අප පුදන මේ යාගය ඔබට ප්‍රසන්න වේවා.
පු : ස්වාමිනි,  ඔබ මාගේ  අයහපත්කම් මා කෙරෙහි සෝදා හැරිය මැනවි.මාගේ පාපයන්ගෙන් නිදොස් කළ මැනව.
පු : සහෝදරවරුනි, මාගේ සහ ඔබගේ යාගය සියලු බලැති දෙව්පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාච්ඤා කරන්න.
පු : ස්වාමීන්වහන්සේගේ නාමයට ප්‍රශංසාවත්, මහිමයත් අත්වනු  සඳහාද, අපටත් තමන් වහන්සේගේ මුළු ශුද්ධවූ සභාවටත් ප්‍රයෝජනවත් වනු සඳහාද ඔබගේ හස්ත වලින් උන්වහන්සේ මේ යාගය පිළිගන්නා සේක්වා.

ස්ත්‍රෝත්‍ර යාගික යැදුම

පු : ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වන සේක්වා.
ජ : ඔබ සමඟදවන සේක්වා.
පු : ඔබගේ සිත් යොමු කරන්න.
ජ : ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු.
පු : අපගේ දෙවියන් වන ස්වාමීන්වහන්සේට ස්තුති කරමු.
ජ : එය  යෝග්‍යවූද, යුතුවූද ක්‍රියාවකි.
පු : පරිශුද්ධ පියාණෙනි, සියලු බලැති සදාතන දෙවි ස්වාමිනි, අප ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මඟින් සෑම කල්හිම සෑම තැන්හිද අප ඔබට තුති පුද කිරීම සැබවින්ම යෝග්‍යය,  යුතුය, සාධාරණය, ගැලවීම දායකය.

මිනිසා කළ වරද ගැන අනුකම්පා කළ උන්වහන්සේ කන්‍යාවකගෙන් ඉපැදීමට කරුණා කළසේක.

උන්වහන්සේ කුරුසිය මත දුක් විඳ නැසී, නිත්‍ය මරණයෙන් අප ගලවා ගත්සේක.

තවද උන්වහන්සේ මරණින් උත්ථාන වි, සදා ජීවිතය අපට දානය කළසේක.

එහෙයින් සුරදුත අග්‍රදුත සුරසේනා සමූහයේ නිරන්තර සාදු නාදයට අපගේ ගීත රාවයද එක් කරමින් ඔබගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණා කරමු.

ප්‍රශංසා ගීතය

පු : ජ : සුවිශුද්ධය, සුවිශුද්ධය, ලෝකාශ්‍ර දෙවි සමිඳාණෝ සුවිශුද්ධය, අහසත් පොළොවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩින උතුමාණෝ භාග්‍යවත්ය. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. 

පූජා පිළිවෙත II

පු : එසේය ස්වාමිනි, ඔබ සැබවින්ම සුවිශුද්ධය, සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබවහන්සේය. එහෙයින් ඔබගේ ආත්මයාණන්ගේ අනුභාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අයදිමු. අප එසේ යදිනුයේ මේ පඬුරු අප උදෙසා අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර, පූපය රැගෙන තුති පුදා, එය කඩා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක.

ඔබ සැම මෙයින් ගෙන වලඳන්න, සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයි.

පු : රාත්‍රී භෝජන වැළඳු පසුව, උන්වහන්සේ එසේම කුසලානය ද රැගෙන නැවත තුති පුදා, මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන් සේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව් කමාව සඳහා ඔබ, උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරුනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න.

පු : අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු.
ජ : ස්වාමිනි,ඔබවහන්සේගේ ශ්‍රී මරණය ද උත්ථානයද ඔබවහන්සේ නැවත වඩින තෙක් ප්‍රකාශ කරමු.
1. මෙම පූපය  වළඳන සැමවිටම, මේ කුසලානෙන් පානය කරන සැමවිටම, ස්වාමිනි, ඔබවහන්සේ නැවත වඩින තෙක් ඔබගේ මරණය ප්‍රකාශ කරමු.

2. ඔබගේ ශ්‍රී කුරුසය හා උත්ථානය මඟින් ලෝකය මුදාගත් විමුක්තිදායකාණෙනි, අප ගලවා ගත මැනව.

3. ස්වාමිනි, ඔබවහන්සේ උකුත් වූ සේක, ස්වාමිනි, ඔබවහන්සේ උත්ථාන වූ සේක. ස්වාමිනි, ඔබවහන්සේ නැවත වඩින සේක.

පු : එහෙයින් පියාණෙනි, උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින්, ජිවනදායක පූපයද ගැලවීම දායක කුසලානද අපි ඔබට පුද කරමු. ඔබ හමුවෙහි සිටිමින් ඔබට සේවය කරනට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන ඔබට තුති පුදමු. තවද,  

ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් සහභාගී වන්නාවූ අප සැමදෙනාම ශුද්ධාත්මයාණන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ඇයද සිටිමු.

ස්වාමිනි, මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබගේ ශුද්ධවූ සභාව සිහි කළ මැනව, …….. නමැති අප ශුද්ධෝත්තම පියාණන්ද …… නමැති අප රදගුරු තුමන්ද, සකල පූජක පිරිසද සමඟ එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව.

මෙලොවින් ඔබ වෙත (අද) කැඳවාගත් (නම) …… නමැති ඔබගේ පුත්‍රයාණන්ගේ මරණයට සහභාගී වූ ඔහු / ඇය උන්වහන්සේ සමඟ සදා ජීවිතය සඳහා නැවත නැඟිටින්නට සලසනු මැනව.

උත්ථානයේ බලාපොරොත්තුව ඇතිව මිය ගීය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ අනුකම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසුණු අනෙකුත් සියල්ලන්ද සිහිකර ඔබගේ ශ්‍රී මුහුණේ ආලෝකය වෙතට ඔවුන් කැඳවා ගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍යා මරියාවන්ද භාග්‍යවත් අපෝස්තුලුවරුන්ද එක් එක් කාලයන්හි ඔබට ප්‍රසන්නව දිවි ගෙවූ සියලු ශුද්ධවන්ත යන්ද සමඟ සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමඟ ඔබට ප්‍රශංසා කිරීමටද ඔබගේ මහිමය වර්ණනා කිරීමටද.

ඔබගේ පුත්‍රවූ ජේසු ක්‍රිස්තුන් වහන්සේ මඟින් අපට වරම් දුන මැනව.

උන්වහන්සේ මඟින්ද, උන්වහන්සේ සමඟ ද, උන්වහන්සේ කෙරෙහිද, සියලු බලැති දෙවි පියාණෙනි, ශුද්ධාත්මයාණන් හා සමඟ එක්ව වැඩ වසන්නාවූ ඔබවහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත්වේවා !

ආමෙන්.

පූජා පිළිවෙත III

පු : පියාණෙනි, ඔබ සැබවින්ම සුවිශුද්ධය, ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ මඟින්ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ අනුභාවයෙන්ද ඔබ සියලු දේ ප්‍රාණවත් කරන සේක. ශුද්ධවත් කරන සේක, එහෙයින් ඔබ මැවූ සියල්ල යුතු ලෙස ඔබට ප්‍රශංසා කරයි, ලොව පුරා සමතැන ඔබගේ නාමයට පිරිසිදු පඬුරක් පුද කරෙන පිණිස, ඔබ නිරන්තරයෙන්ම ඔබ වෙතට ජනතාවගේ රැස්කර ගන්නා සේක.

පු : එහෙයින් පියාණෙනි, ඔබ පුදන්නට අප රැගෙන ආ මෙම පුද පඬුරු එම ශුද්ධාත්මයාණන් මඟින් පරිශුද්ධවත් කරන්නට කරුණා කරන මෙන් අපි අවනතව ඇයද සිටිමු.

අප එසේ යදිනුයේ මේ පඬුරු ඔබගේ පුත්‍රයාණන් ද අපගේ ස්වාමින් ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පවත්වීම සඳහාය. 

මේ අබිරහස අප සිදුකරනුයේ උන්වහන්සේගේ නියමය අනුවය.

උන්වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී, පූපය රැගෙන ඔබට තුති පුදමින් ප්‍රශංසා කර, එය කඩා, මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක.

ඔබ සැම මෙයින් ගෙන වලඳන්න, සැබවින්ම මෙය ඔබ උදෙසා පවරාදෙනු ලබන මාගේ ශරීරයයි.

රාත්‍රී භෝජනය වැළඳු පසුව උන්වහන්සේ එසේම කුසලානයද රැගෙන ඔබට තුති පුදමින් ප්‍රශංසා කර මෙසේ කියමින් එය සිය ශ්‍රාවකයන්ට දුන් සේක.

ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න, සැබැවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව් කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරනු ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න.

පු : අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු.
ජ : ස්වාමිනි, ඔබවහන්සේගේ ශ්‍රී මරණයද ඔබගේ උත්තානයද ඔබවහන්සේ නැවත වඩින තෙක් ප්‍රකාශ කරමු.

1. මෙම පූපය වළඳන සැම විටම මේ කුසලානෙන් පානය කරන සැම විටම, ස්වාමිනි, ඔබවහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණයද උත්ථානය ද අපි ප්‍රකාශ කරමු.

 2. ඔබගේ ශ්‍රී කුරුසිය ද උත්ථානය ද මඟින් ලෝකය මුදාගත් විමුක්තිදායකයාණෙනි, අප ගලවා ගත මැනව.

3. ස්වාමිනි, ඔබවහන්සේ උකුත් වූ සේක.
ස්වාමිනි, ඔබවහන්සේ උත්ථාන වූ සේක.
ස්වාමිනි, ඔබවහන්සේ නැවත වඩින සේක.

පු : එහෙයින් පියාණෙනි, ඔබ එම පුත්‍රයාණන්ගේ ගැලවීමදායක දුක් සහිත මරණයත් ආශ්චර්යවත් උත්ථානය සහ ස්වර්ගාරෝහනයක් සිහි කරමින් ද, උන්වහන්සේ නැවත පැමිණි විට පිළිගැනීමට සූදානම්ව සිටිමින් ජීවමාන වූත් මෙම යාගය ස්තුති පූර්වකව අපි ඔබට පුද කරමු. ඔබවහන්සේගේ ශුද්ධවූ සභාව ඔබට පුදන මේ පඬුර නම් ඔබගේ කැමැත්ත පරිදි පූජාව ඔබට ප්‍රසන්නවූ ඔබ පුත්‍රයාණන්ගේ ජිවිත යාගය වේ. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරයෙන් පෝෂ්‍ය වන අප උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වී, ක්‍රිස්තුන් වහන්සේ තුළ එකම ආත්මයක් ද ශරීරයක් ද වන්නට සලසනු මැනව.

අප ද ඔබ වහන්සේට සදහටම ප්‍රසන්න පඬුරක් වීමට උන්වහන්සේ සලසන සේක්වා. එවිට ඔබ විසින් තෝරා ගන්නා ලද විශ්වාසකයන් සමඟ, විශේෂයෙන් දේව මාතාවන් වන ඇති භාග්‍යවත් අපෝස්තුළුවරුන්ද, විරෝදාර ප්‍රාණ පරිත්‍යාගීවරුන්ද, ශුද්ධ වූ …….. ( අද දින සමරන ශුද්ධවරයාගේ හෝ දෙව් මැදුර කැප කර ඇති ශුද්ධවරයාගේ / ශුද්ධවරියගේ නම) තුමන් ද, සියලු ශුද්ධවන්තයන් ද, සමඟ ඔවුන්ගේ උරුමයට හවුල් වන්නට අපි සුදුස්සෝ වෙමු. මෙම ශුද්ධවන්තයන් නිරතුරුම අප වෙනුවෙන් මැදහත්ව ඔබගේ පිහිට අපට ලබා දෙන බව අපි තරයේ විශ්වාස කරමු.

පියාණෙනි, අප ඔබහා සමඟ කළ මේ යාගයෙන්
සකල ලෝකයාට සාමයත්, ගැලවීමත්
සැලසේවායි අයදිමු, ඔබගේ දාසයා වන …..
නමැති අප ශුද්ධෝත්තම පියාණන් ද …….
නමැති අප රදගුරු තුමන් ද 

  • රාජගුරු මණ්ඩලයද සියලු පූජකවරුන්ද, එතුමන්ගේ සහායක රදගුරු තුමන්ද / තුමාද ඔබ දිනාගත් සකල ජනයාද වන මෙලොවේ ආගන්තුක වූ ඔබගේ ශුද්ධවූ සභාව, විශ්වාසයෙහිත් දයාවෙහිත් ස්ථිර කළ මැනව ඔබගේ කැමැත්ත පරිදි, සෑම තැන විසිරී වෙසෙන ඔබගේ දරුවන් අනුකම්පා සහගතව ඔබ වෙත රැස්කරගත මැනව.
  • නැසීගිය අපගේ සොහොයුරන් ද, ඔබට ප්‍රසන්නව දි වි ලෙවා මෙලොවින් වියෝවූ සියල්ලන්ද ඔබගේ රාජ්‍යයට කරුණාවෙන් කැඳවාගත මැනව.
  •  අපිදු ඒ රාජ්‍යයට පැමිණ ඔවුන් හා සමඟ සැමකල්හි ඔබගේ මහිමයෙන් තෘප්තිමත් වී සිටින්නට බලාපොරොත්තු වෙමු.
  • අපගේ ස්වාමින් වූ ක්‍රිස්තුන් වහන්සේ මඟින් යහපත් සියල්ල ලොවට දානය කරන ඔබ, උන්වහන්සේ මගින් එය අපට ලැබෙන්නට සලසනු මැනව.
  • උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද, සියලු බලැති දෙවි පියාණනි, ශුද්ධාත්මයාණන් හා සමඟ එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සඳහටම අත්වේවා !

ජා : ආමෙන්

බොදුන් පිළිවෙත

පු : ගැලවීමදායක අණ පනතින් ප්‍රතුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ අයදිමු.

අපි පෝෂණය වෙමු

ජ : ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටුවේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි ද කමා කළ මැනව. පාප අවස්ථාවනට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව.

පු : ස්වාමිනි, සියලු අයහපතින් අප මුදාලන මෙන් ද, අපගේ මේ ජීවිත කාලයෙහි දී අපට සාමය දෙන මෙන් ද අපි අයදිමු. එවිට ඔබගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වි අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසු ක්‍රිස්තුන් නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
ජ : මක්නිසාදයත්, රාජ්‍යයද, බලයද, මහිමයද සදහටම ඔබවහන්සේගේය.
පු : “සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි” යි ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසු ක්‍රිස්තු ස්වාමිනී, ඔබවහන්සේ අපගේ පාපයන් නොතකා, ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබගේ කැමැත්ත එම සභාවට සාමයද, සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ සදහටම වැඩ සිටින සේක. රජකම් කරන සේක.
ජ : ආමෙන්.
පු : ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතීවා !
ජ : ඔබ සමගද පවතීවා !
පු : ඔබ එකිනෙකාට සාමය පතන්න.
පු : අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ශ්‍රී රුධිරයෙන් මිශ්‍රවීම. එය ලබාගන්නා වූ අපගේ සදා ජීවනය පිණිස වේවා !
ජ : ලොවේ පව් හරණ දෙවාජබාලකයාණෙනි, අපට කරුණා කළ මැනව.
ලොවේ පව් හරණ දෙවාජබාලකයාණෙනි, අපට කරුණා කළ මැනව.
ලොවේ පව් හරණ දෙවාජබාලකයාණෙනි, අපට කරුණා කළ මැනව.
පු : ජේසුක්‍රිස්තුස්වාමිනි, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, පියාණන් වහන්සේගේ කැමැත්තෙන්ද ශුද්ධාත්මයාණන්ගේ සහයෝගයෙන්ද, ඔබගේ මරණය මගින් ඔබ ලෝකය ජීවමාන කළ සේක. ඔබගේ මෙම ශ්‍රී ශරීරයේ සහ රුධිරයේ අනුභාවයෙන් මාගේ සියලු පව් වලින්ද, සෑම අයහපතින්ද, මා මුදාගත මැනව. ඔබගේ අණ පනත් සියල්ලෙහි මා නියැලී සිටින්නට සලසනු මැනව. කිසි දිනක මට  ඔබගෙන් වෙන් වන්නට ඉඩ නුඳුන මැනව.
පු : මෙන්න දෙවාජබාලකයානෝ, මෙන්න ලොවේ පව් හරන තැනැන්වහන්සේ, අජබාලකයාණන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය.
ජ : ස්වාමිනි, ඔබවහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය.
පු : ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය සදා ජීවිතය කරා මා ගෙන යේවා!
පු : ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී රුධිරය සදා ජීවිතය කරා මා ගෙන යේවා !
පු : ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය
ජ : ආමෙන්
පු : ස්වාමින්, අප මුවින් වැළඳු මේ බොඳුන , අප සිතින් ද ලබා ගැන්මට අපට හැකිවේවා ! මේ කාලීන තිළිණය අපට සදාතන ඖෂධයක් වේවා !
පු : යාච්ඤා කරම්හ
ජ : ආමෙන්

සමුගැනීමේ පිළිවෙත

පු : ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා
ජ : ඔබ  සමගද වන සේක්වා
පු : සියලු බලැති දෙවි මහෝත්තමයාණන්  පියාණෝ ද පුත්‍රයාණෝ ද, ශුද්ධාත්මයාණෝ ද, ඔබ ආශීර්වාද කරන සේක්වා.
පු : යන්න, සාමය ගෙන යන්න.
ජ : දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.

අහෝ දයාබර සෙනෙහෙවන්ත මෑණියනි / ශ්‍රී ලංකා රාජේස්වරී හා / අප ආරක්ෂිකාවෙනි. මේ තීරණාත්මක මොහොතේදී / අප නිහතමානීව බැගෑපත්ව / අයද සිටින මේ ඉල්ලීමට / සවන්දුන මැනව.

දයාබර මෑණියනි / යුද්ධ සංග්‍රාම වලදී හා අනේකාකාර අනතුරු වලදී / ඔබ අප සහායට වැඩියා නොවේද? ඔබගේ ඒ නොවෙනස් ප්‍රේමයෙන් අප අතර මුල් බැස ඇති බද්ධ වෛරය හා ප්‍රචන්ඩ ක්‍රියා / පලවා හැරව මැනව.

අප රටේ ප්‍රේමය හා ධර්මිෂ්ඨකම / රජ කරන රාජ්‍යයක් ගොඩ නැගීමට / අපට සහය වුව මැනව. පෙම්බර මෑණියනි, / ඔබ අප කෙරෙහි ඇති / නොවෙනස් අචල ප්‍රේමය හා දයානුකම්පාව / නිතර සිහි කරමින් / ඔබේ සෙනේබර ආරක්ෂාව හා / අප රට වැසි සියලු ජාතීන් ඔබට භාර කරමු. අප සමාජය තුළ සහෝදරත්වය. / සාමය හා එකමුතුකම. / ගොඩනැගීමට අපට සහය වුව මැනව / අප රටෙහි සියලු දෙනා / එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් ජිවත් වීමේ භාග්‍යය / අපට ලබා දුන මැනව. / ආමෙන්.

අග්‍රදුත මිඛායෙල් තුමන්ට යාච්ඤාව

 අග්‍රදුත ශු. මිඛායෙල් තුමෙනි. සටනේදී අප ආරක්ෂා කළ මැනව. යක්ෂයාගේ දුෂ්ඨකම් වලටත් සදිකම් වලටත් විරුද්ධව අපට ආධාරව සිටිය මැනව. ඌට දෙවිමහොත්තමයාණන් වහන්සේ තරවටු කරන මෙන් අපි බැගෑපත්ව අයදිමු. මෝක්ෂ සේනාධිපති වූ ඔබ ආත්මයන් විනාශ කරන පිණිස ලෝකයෙහි දුවපැන ඇවිදින සාතන් සහ ඔහුගේ දුෂ්ඨාරූපින්ද නිරයට හෙළාලනු මැනව. ආමෙන්

දිව්‍ය සත්ප්‍රසාද ලබාගැනීම සඳහා සූදානම් වීම.

1. විශ්වාසයේ උච්චාරණය

“ජේසුස් ක්‍රිස්තුන් ස්වාමිනි, – දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ මාර්ගයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය ද, ඔබවහන්සේගේ ආත්මය හා දෙව්කය ද මට ලැබෙන බව. ස්ථිර වශයෙන් මම විශ්වාස කරමි. මේ සත්‍යය ආරක්ෂා කරනු සඳහා. මාගේ ජීවිතය පවා පුද කරන්නට – මම කැමැත්තෙමි.”

2. බැහැපත් වීමේ උච්චාරණය.

“මාගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුනි, – ඔබ වහන්සේට මෙපමණ අනදර කළායින් පසු, ඔබවහන්සේ ළඟට පැමිණීමට මම භයෙන් සිටිමි. ඇත්තෙන්ම මාගේ හෘදය තුළට ඔබවහන්සේ පිළිගන්නට – මම සුදුස්සෙක් නොවෙමි. මාගේ වැරදි ගණන හා බරපතලකම අනුව – මම අසරණ පව්කාරයෙක් වෙමි. එහෙත් ස්වාමිනි – ඔබවහන්සේ වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය.

3. මනස්තාපයේ උච්චාරණය

“දෙවියනි – ඔබවහන්සේ අප්‍රමාණ යහපත වන නිසා, සෑම පාපයක්ම ඔබවහන්සේට ඉතා අප්‍රසන්න වේ. ඔබවහන්සේගේ ප්‍රේමණීය වූ පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ, අපගේ පව් වලින් අප නිදොස් කරනු සඳහා, කෘර මරණයෙන් උකුත් වීමට කැමති වූ සේක. අහෝ දෙවි ස්වාමිනි, මාගේ පව් ගැන අවංක ලෙස කණගාටු වීමට මට වරප්‍රසාද දුන මැනව. එවැනි පව් නැවත නොකරන සැටියට ඔබවහන්සේම මට පිහිට වුව මැනව.

4. බලාපොරොත්තු වීමේ උච්චාරණය

“මාගේ දයාබර ගැලවුම්කාරයාණනි, ඔබගේ දිව්‍ය සත්ප්‍රසාදය ලැබ, මට අවශ්‍ය සෑම වරප්‍රසාදය ලබා ගන්නට, මම බලාපොරොත්තුවෙන් සිටිමි. මාගේ ආත්මය ශුද්ධවන්ත කරනු පිණිසද, මාගේ ශරීරය පිරිසිදු කරනු පිණිසද මාගේ මුළු ජීවිතය ඔබගේ ප්‍රේමයෙහි ආරක්ෂා කරනු පිණිස ද, ඔබ වහන්සේ ම කෙරෙහි වාසය කළ මැනව.”

5. ප්‍රේම කිරීමේ උච්චාරණය

“අහෝ, මාගේ දිව්‍ය ජේසුනි, ඔබ වහන්සේ මට අප්‍රමාණ ලෙස ප්‍රේම කළ සේක. කුරුසියේ මරණය දක්වා ඔබ වහන්සේ මට ප්‍රේම කළ සේක, ඔබගේ ශ්‍රී මාංශයෙන් මා පෝෂණය කරනු සඳහා ඔබ වහන්සේ මේ දිව්‍ය සත්ප්‍රසාදය ස්ථාපිත කළ සේක. එසේ හෙයින්, සියලු දේට වැඩියෙන් ඔබ වහන්සේට ප්‍රේම කිරීමට මම් ආශාවෙන් සිටිමි. මාගේ මරණය දක්වා ඔබ වහන්සේ උදෙසා ජිවත් වීමට මම කැමති වෙමි.”

1. වන්දනා කිරීමේ උච්චාරණය

“අහෝ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි ඔබ වහන්සේ මැවුම්කාරයාණන් ද මාගේ දෙවි ස්වාමියාණන්ද වන නමුත් මාගේ ගැලවුම්කාරයාණන් හා මාගේ උතුම් සහෝදරයාණන් වනු සඳහා ඔබ වහන්සේ මනුෂ්‍යයකු වීමට කැමති වූ සේක. බැහැපත් ලෙස, මම ඔබවහන්සේට නමස්කාර කරමි.
අහෝ, දිව්‍ය පූපයෙහි මුවාවූ ජේසුනි, ඔබ වහන්සේගේ දේව ජිවිතයෙන් – මාගේ ආත්මය ප්‍රාණවත් කරනු සඳහා දිව්‍ය ආහාරයක් වශයෙන් ඔබවහන්සේ මාගේ හෘදයට පැමිණීමට කැමති වූ සේක. ඒනිසා, මම ගෞරවයෙන් ඔබවහන්සේට වන්දනා කරමි.

2. ස්තුති කිරීමේ උච්චාරණය

“අහෝ, ස්වාමිනි,නිතරම ඔබවහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට මම ණයෙන් බැඳී සිටිමි. ඒ මක්නිසාදයත්, සැමදාම ඔබවහන්සේගේ අප්‍රමාණ දීමනා මට ලැබෙන නිසාය. මාගේ ශාරීරික ජීවිතය හා ශක්තියද මාගේ ආත්මය හා ඥාන ශක්තියද මට ලැබෙන්නේ ඔබ වහන්සේගෙන්මය, දේව දරුවකු මෙන් ජිවත් වනු සඳහා, මාගේ පව් වලට ක්මො ද, ඔබගේ දේව ඉෂ්ට වරප්‍රසාදයද, මට ලැබෙන්නේ ඔබවහන්සේගෙන්මය. දැනුත් මා ශක්තිමත් හා ධෛර්යමත් කරනු පිණිස ද, මට මෝක්ෂ මාර්ගය පෙන්වා දෙනු පිණිසද, මා සෑම අනතුරු වලින් ආරක්ෂා කරනු පිණිසද, ඔබවහන්සේ මාගේ හෘදයෙහි ජිවත් වන සේක.අහෝ, පෙම්බර ජේසුනි, අවංක ලෙස ඔබවහන්සේට ස්තුති කරනු සඳහා, මම කුමක් කරම්ද?

2. කැපකිරීමේ උච්චාරණය

“දයාබර ජේසුනි මාගේ කෙළෙහිගුණ සැලකීමේ ලකුණක් වශයෙන් මාගේ මුළු ජිවිතයම ඔබවහන්සේට කැප කරමි. ඔබවහන්සේට සේවය කිරීමට පමණක් මාගේ ශාරීරික හා මානසික ශක්තින් පාවිච්චි කරන්නෙමි. මාගේ සියලු කල්පනා වලින් හා ක්‍රියා ඔබවහන්සේට විරුද්ධ වීමටත්, – මට ඉඩ නොඳුන මැනව.

ජේසුනි, දේව පුත්‍රයාණෙනි, – මාගේ හොඳ හිත මාගේ යහපත් ආශා – මා විසින් ඔබට පුද කරනු ලබන පෞද්ගලික යාගයක් මෙන් පිළිගත මැනව. එය ඔබගේ උතුම් යාගයට එක්වී, දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වේවා.

4. ප්‍රේම කිරීමේ උච්චාරණය

“පෙම්බර ජේසුනි – මාගේ මුළු හෘදයෙන්ම මම ඔබවහන්සේට ආදරේ වෙමි, මාගේ ප්‍රේමයේ අවංකභාවය ඔප්පු කරනු පිණිස, සෑම මොහොතකම ඔබවහන්සේට කීකරු වීමට මම උත්සහ කරන්නෙමි, විශේෂ කොට, ඔබගේ ඉල්ලීම අනුව, – මාගේ සියලු සහෝදරයන්ට සේවය කිරීමට – මම නිතරම වෑයම් කරන්නෙමි.

මෙම පොරොන්දුව හරියාකාර ඉටුවනු සඳහා මාගේ හෘදය කෙරෙහි, ඔබවහන්සේගේ දයාබර ප්‍රේමය අලුත්වැඩියා කළ මැනව.”

5. පිහිට ඉල්ලීමේ උච්චාරණය

“ජේසුනි ස්වාමිනි, – ඔබවහන්සේගේ පිහිට නැතිව මට කිසිම යහපතක් කළ නොහැකිය, එහෙයින් දිනපතා මාගේ යුතුකම් නිසි ලෙස ඉටු කරනු පිණිසත්, සෑම පව් වලින් වැලකී සිටිනු පිණිසත් ඔබගේ අප්‍රමාණ දයාව නිසා, මාගේ අවශ්‍ය වූ වරප්‍රසාද දානය කළ මැනව.
මාගේ දෙමව්පියන් සහෝදරයන්   හා මිත්‍රයන් උදෙසාත් – මාගේ ස්වාමිවරුන් හා ගුරුවරුන් උදෙසාත් මෙම වරප්‍රසාද ඔබවහන්සේගෙන් ඉල්ලමි.

අහෝ ක්‍රිස්තු රජාණෙනි, – මේ ලෝකයෙහි ඔබගේ රාජ්‍යය සංවර්ධනය කරනු සඳහා – ශුද්ධ වූ කතෝලික සභාවේ නායකයන් ආරක්ෂා කළ මැනව. ඔබගේ නාමය විශ්වාස නොකරන අය ගැන ද දයානුකම්පාව වුව මැනව. ධර්මදූත සේවය සඳහා මා ජවලිත කළ මැනව. මෝක්ෂ රාජ්‍යයෙහි අනන්ත ජීවිතය ලැබෙන තෙක් මාගේ ආත්මය ආරක්ෂා කළ මැනව.
ආමෙන්.

දිව්‍ය ගැලවුම්කාරයාණන්ට යාච්ඤාව

(ශු. ඉග්නාසියුස් මුනිඳුන් විසින්)

“ක්‍රිස්තුස් තුමන්ගේ ආත්මයෙනි, මා ශුද්ධවන්ත කළ මැනව.
ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී ශරීරයෙනි, මා  ගැලවුව මැනව.
ක්‍රිස්තු තුමන්ගේ  ශ්‍රී රුධිරයෙහි මා ප්‍රීතිමත් කළ මැනව.
ක්‍රිස්තු තුමන්ගේ  ආලයෙන් වෑහුන ජලයෙහි මා දෝවනය කළ මැනව.
ක්‍රිස්තු තුමන්ගේ දුඛ ප්‍රාප්තියෙනි මා  ශක්තිමත් කළ මැනව.
අහෝ යහපත් වූ ජේසුනි, මා ශ්‍රවණය කළ මැනව,
ඔබගේ ශ්‍රී තුවාලයන් තුළ මා සඟවාගත මැනව.
ඔබගෙන් වෙන් වීමට   මට ඉඩ නොදුන මැනව.
දුෂ්ඨ වූ සතුරාගෙන් මා රැක ගත මැනව.
මාගේ මරණ වේලෙහි මා කැඳවා ගත මැනව.
ඔබ වෙත පැමිණෙන මෙන් මට  අණ කළ මැනව.
එවිට සදහටම ඔබගේ ශුද්ධවන්තයන් සමඟ, ඔබට ප්‍රශංසා කිරීමට  මට හැකි වන්නේය.
ආමෙන්.

තමන් කැප කිරීමට යාච්ඤාව

(ශු. ඉග්නාසියුස් මුනිඳුන් විසින්)

“දෙවි ස්වාමිනි, මාගේ නිදහස් කැමැත්ත මුළුමනින්ම භාරගත මැනව. මාගේ සිහියද නුවනද මාගේ සම්පුර්ණ අධිෂ්ඨාන බලයද පිළිගත මැනව මා කෙරෙහි ඇතිවූ ද, මට අයිති වූද සියල්ල ඔබවහන්සේ මට දුන් සේක. ඒ සියල්ල ඔබවහන්සේට ආපසු භාරදෙමි. ඒ සියල්ලම ඔබවහන්සේගේ කැමැත්ත අනුව පාවිච්චි කරනු සඳහා ඔබවහන්සේට භාරදෙමි. මට ඔබවහන්සේගේ කැමැත්ත අනුව පාවිච්චි කරනු සඳහා ඔබවහන්සේට භාර දෙමි. ඔබ වහන්සේගේ ප්‍රේමය හා වරප්‍රසාදය පමණක් දුන මැනව. එයින් පමණක් පොහොසත් වීම මට සෑහේ, වැඩිපුර කිසිම දෙයක් මම නොසොයන්නෙමි. ආමෙන්. 

ක්‍රිස්තුන් ස්වාමින් වහන්සේගේ හේවා භටයන්ගේ යාච්ඤාව

“ජේසුස් ස්වාමිනි, ත්‍යාගවන්ත වීමටත්, ඔබට නිසි ආකාර සේවය කිරීමටත්, ප්‍රේමය නොමසුරුව දීමටත්, තුවාළ නොසලකා සටන් කිරීමටත්, මහන්සිය නොබලා වැඩ කිරීමටත් ඔබගේ අභිප්‍රාය කුමක්දැයි දැනගැනීම විනා,අන් කිසි විපාකයක් ගැන බලාපොරොත්තුවක් නැතිව මාගේ ජිවතය ගත කිරීමටත් මට ඉගැන්වුව මැනව. ආමෙන්.

පුර්ණ ඵල ලැබීමට කුරුසේ බලා කිය යුතු යාච්ඤාව

කරුණාවන්ත වූ සහ අති මධුර වූ ජේසුනි, මෙන්න ඔබ ඉදිරියේ දණින් වැටි “ඔවුහු මාගේ හස්ත සහ පාද වලුත් සිදුරු කළෝය” “ඔවුහු මාගේ ඇට සියල්ල ගණන් කළෝය.” කියා ඔබගේ දිවැසි ප්‍රසාදි වූ දාවිත් විසින් අහෝ යහපත වූ ජේසුනි, පූර්වයෙහි ඔබවහන්සේ ගැන ඔබගේ මුඛයෙහි තබන ලද වචන මාගේ ඇස් ඉදිරියෙහි ඇතිව ආත්මයේ මහත් දයාලයෙන් සහ ශෝකයෙනුත් යුක්තව ඔබගේ තුවාල පහ ගැන ධ්‍යාන කරමින් මා සිත තුළ චින්තනය කොට විශ්වාසයෙත් ප්‍රර්ථනාවේ සහ ප්‍රේමයෙන් ජීවමාන වූ අභ්‍යාසවල් ද, මාගේ පාපවල් ගැන සත්‍ය වූ පසුතැවිල්ලක් හා ඒවා හරිගස්සා ගැනීමට ස්ථිර වූ කැමත්තක්ද, මාගේ හෘදයෙහි පදිංචි කරන මෙන් මාගේ ආත්මයේ අතිජවලිත ආශාවෙන් ඔබට යාච්ඤා කොට කන්නලව් කියමි.
ආමෙන්.

ජේසු ක්‍රිස්තු රජතුමාණන්ට යාච්ඤාව

“අහෝ ! ජේසු ක්‍රිස්තු රජතුමාණෙනි, මම ඔබ වහන්සේ සර්වලෝක රජාණන් කොට පිළිගනිමි. උත්පාදිත සියල්ලම ඔබ නිසා මවා තිබේ. මා කෙරෙහි ඔබවහන්සේට ඇති අයිතිවාසිකම් සියල්ල භාවිතා කර වදාරනවා සොඳේ.

මාගේ ප්‍රසාද ස්නාන පොරොන්දු අලුත්වැඩියා කරමින් සාතන්ද උගේ ගම්භීරය හා ක්‍රියාද ත්‍යාප කරමි. මම යහපත් ක්‍රිස්තියානි වරයකු මෙන් ජිවත් වීමට ප්‍රතිඥා දෙමි. තවද මාගේ ශක්තියේ ප්‍රමාණයට දෙවියන්වහන්සේගේ ද ශුද්ධ වූ සභාවේද අයිතිවාසිකම් ජයට පැමිණවීමට විශේෂ වශයෙන් උත්සහ කරමි. 
ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනී ! ඔබවහන්සේගේ සිරි රජකම සියලු සහෘදයන් විසින් පිළිගන්නා පිණිස ද, මෙලෙස මුළු ලෝකයේ ඔබගේ සමාදාන පාලනය පිහිටුවනු ලබන පිණිස ද, මාගේ බෙලහීන ක්‍රියා ඔබට ඔප්පු කරමි. ආමෙන්.

දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව

1. අප නිසා ලෝකයේ මනුකය ගෙන තිස්තුන් වර්ෂයක් ජීවත්වී අප්‍රමාණ වඩා විඳ උකුත්වී මළ උද්ගතව නැවත ස්වර්ගාරෝහණය වුනාවූ යහපත් වූ ජේසුනි, ඔබවහන්සේගේ මේ සත්ප්‍රසාද මණ්ඩපයේ වැඩ සිටින බව ස්ථිර ලෙස විශ්වාස කරමින්.

සියල්ලෝ :- ජේසුනි, අපි ඔබ වහන්සේට වන්දනා කරමු.

ජේසුනි, ඔබවහන්සේගේ මෝක්ෂ රාජ්‍යයෙහි සකල සාන්තුවරයින්ට දර්ශනව වැඩ සිටින සේක. සත්ප්‍රසාද නමැති පූප ලාංජනයේ ආදර්ශනව වැඩ සිටින සේක. මෙම ලාංජනයේ පූප නොමැත්තේය. එහි ඔබ වහන්සේම ඔබගේ ශරීරයත් රුධිරයත් ආත්මයත් දෙවකයත් ඇතුව දර්ශනව වැඩ සිරින සේකැයි විශ්වාස කර

3. ස්වාමිනි, ඔබවහන්සේ අප නිසා වඳ විඳ පව් අත්හරින්ටත්, ධර්ම කෘත්‍යයන් ඉෂ්ට කරන්ටත් අපේ ආත්ම වලට ශක්තිය දෙන පිණිස භෝජනය මෙන් ඔබවහන්සේවම අපට දුන්නෙහිය. මේ සියල්ල අප නොසලකා ඔබවහන්සේට විරුද්ධව පව් කළ නිසා බොහෝ සෙයින් මනස්ථාපවී *

4. වයෝවෘධයත් සහ බාලයොත් ඔබ වහන්සේගේ ආඥා කඩකරත්, ඔබවහන්සේට උදේ සවස යාච්ඤා නොකර ඉරිදා ණය මංගල්‍ය දින වල පූජාව නොඅසා දෙමව්පියන්ට අකීකරුවී නපුරු වචන කථා කරමින් සොරකම් කරමින් මුසාවාද කියත්, මෙයාකාර අපරාධ කරන්නන් වෙනුවෙන් අපි කණගාටුවී *

5. ප්‍රේමනීය ජේසුනි, අපගේ පාප ක්‍ෂමා කරමින් මතු අපි වඩ වඩා ඔබට ප්‍රේම කරන්ට සැලැස්සුව මැනව. අපි එක පාපයක්වත් නැතුව හැසිරෙන්නට සැලැස්සුව මැනව. අපේ මව්පියන්ට ආශීර්වාද කළ මැනව.

 අපට යහපත් අවවාද කරන්නන්ට ආශීර්වාද කළ මැනව. පව්කාරයන්ගේ සිත් හැරෙන්ටත් මිත්‍යා දෘෂ්ටින් සත්‍යාගම වැළඳ ගන්නටත් කරුණා කළ මැනව. ශුද්ධිකාගිනිස්ථානයේ වද විඳින ආත්මයන්ට සැනසීම දුන මැනව. මේ අපි ඉල්ලගන්නාවූ සියල්ල ඔබවහන්සේ දයාවෙන් අසනවා ඇත කියා විශ්වාස කර *

6. ඔබ වහන්සේව අප හෘදය තුළ වඩවාගන්නට බොහෝ ආශාවෙන් සිටිමු. ස්වාමිනි දැන් ඔබවහන්සේ අප වෙත වඩින්නේ නැද්ද දෙවියනි, අප දිව දිගු කර දැන් ඔබවහන්සේ ලබාගන්නට බැරි නිසා ඥානාකාරයෙන්වත් ඔබ වැඩ කරන මෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමු. මෙන්න ඔබ අපේ හෘදයන්හි වැඩිය සේකැයි කියා සිතාගෙන,

මේ ආරාධනා සියල්ල පිළිගෙන සත්ප්‍රසාද මණ්ඩපයේ සිට ජේසුනි, අපට ආශීර්වාද කළ මැනව.
ආමෙන්.

යුක්ති සතර

මු : දිව්‍ය සත්ප්‍රසාදයෙහි වැඩ සිටින්නාවූ මාගේ ජේසුනි, ඔබට වන්දනා නමස්කාර කරමින් මා ආශීර්වාද කරන මෙන් අයදිමි.
උ : මාගේ දෙවියනි, සියලුදේම ඔබවහන්සේගේ අධික මහිමයද අපගේ ආත්ම ගැලවීම උදෙසාද ඔබටම කැප කරමි.

පළමුවෙනි යුක්තිය – වන්දනාව

1.විස්වාසය 

මු : සර්වබල පරාක්‍රමයෙන් අහස පොළවද එහි අඩංගු සියල්ලද මැව්වාවූ ඔබ
උ : මෙම දිව්‍ය සත්ප්‍රසාදයෙහි වැඩ සිටින බව විශ්වාස කරමි *
මු : බෙත්ලෙහෙම්  නුවර ගවසැලෙක්හි කුඩා දරුවෙකුව උපන්නාවූ   ඔබ
මු : නාසරෙත් ග්‍රාමයෙහි තිස්තුන් අවුරුද්දක් මුළුල්ලෙහි බැහැපත් ජිවිතයක් පසුකළාවූ ඔබ *
මු : මා නිරයෙන්  ගලවා ගන්නා පිණිස කුරුසියේ උකුත්වුණාවූ ඔබ *
මු : දැනුදු අත්‍යාධික මහිමයෙන් හා ප්‍රභාලංකාරයෙන් ද, යුක්තව මෝක්ෂ රාජ්‍යයෙහි රජකම් කරන්නාවූ ඔබ *
මු : මෙම සත්ප්‍රසාද මණ්ඩපයෙහි වෙසෙමින් රෑ දවල් දෙකේහි දේවදුත සමූහයාගේ වන්දනා වාරය ලබන්නාවූ ඔබ *
මු : මාගේ මෙම විශ්වාසය නිතර වඩ වඩා ගෞරවවාකාරයෙන්  යුක්තව  ප්‍රකාශ කරන සැටියට *
උ : මාගේ දෙවියනි, මාගේ විශ්වාසය වැඩිකර වදාළ මැනව.

2. බලාපොරොත්තුව

මු : අපගේ දුක් කණගාටු වලදී අපට සැනසීම දෙන පිණිස අප මධ්‍යයෙහි වැඩ සිටින්නාවූ අනන්ත කරුණා සාගරය වූ *
උ : ජේසුනි, මම ඔබවහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙමි.
මු : රෑ දවල් දෙකෙහි අප මතක් කර ආරක්ෂා කරන්නාවූ
මු : රෑ දවල් දෙකෙහි දෙව්පියාණන් ඉදිරියෙහි අප උදෙසා මධ්‍යස්ථ වන්නාවූ
මු : රෑ දවල් දෙකෙහි අපට කිය නොහැකි තරම් උතුම් වූ වරප්‍රසාද රාශියක් දෙවා වදාර මැනවි
මු : මාගේ මෙම බලාපොරොත්තුව වඩ වඩා ශ්‍රධාවන්ත කමින් ප්‍රකාශ කරන සැටියට.
මු : මාගේ දෙවියනි, මගේ බලාපොරොත්තුව වැඩිකර වදාළ මැනව.

3. ප්‍රේමය

මු : අපට මෙතෙක් ප්‍රේම කළාවූ දයා සාගර වූ පියාණෙනි, මමද මාගේ මුළු හෘදයෙන් ඔබට ප්‍රේම කරනු කැමැත්තෙමි.
උ : ජේසුනි, මම ඔබට ආදරේ වෙමි.
මු : පීඨකය මත්තෙහි අප උදෙසා දිනපතා බිලි පඬුරක් මෙන් කැපවෙන්නාවූ
මු : ඔබගේ නිර්මල  ශරීරය මාගේ ආහාරය කොට දිව්‍යසත්ප්‍රසාද මාර්ගයෙහි දානය කරන්නාවූ.
මු : අපගේ ප්‍රේමයට හේතු වූ ඔබවහන්සේගේ අනන්ත දයා කරුණාව කරණකොට ගෙන.
මු : මාගේ දෙමව්පියන්ටත් මිත්‍රයින්ටත් සහ අවශේෂ සියල්ලන්ටත් වඩා.
මු : මීට වඩා දහස් ගුණයක් ඔබට ආදරේ වෙන්ට කැමති වෙනවා පමණක් නොව මේ ලෝකයේ සියල්ලන් ලවා ඔබට ප්‍රේම  කරන්නට කැමති වෙමි.
මු : මාගේ මේ ප්‍රේමය වඩ වඩා ත්‍යාගිවන්ත සිතින් ප්‍රකාශ කරන සැටියට.
උ : මාගේ දෙවියනි, මාගේ ප්‍රේමය වැඩිකර වදාළ මැනව.

4. වන්දනාව

මු : මාගේ දයාවන්ත ජේසුනි, මාගේ ආදරයද ගෞරවාවාරයද ඔබවහන්සේටම ඔප්පු වේවා.
උ : ජේසුනි ඔබට වැඳ නමස්කාර කරමි.
මු : මාගේ කල්පනාව වචන ක්‍රියා සහ වේදනාවද ඔබවහන්සේටම ඔප්පු වේවා.
මු : දැනට ගත වේගෙන වන්නාවූ මෙම දවසද මාගේ මුළු ජිවිතයද  ඔබවහන්සේටම ඔප්පු වේවා.
මු : මාගේ දුර්වල කමට ආධාරයක් වශයෙන් ස්වර්ගයේද, භුලෝකයෙහිද පවත්වනු ලබන්නාවූ සියලු වන්දනාවාරය ඔබවහන්සේටම ඔප්පු වේවා.
මු : අති නිර්මල මරියෝත්තමවාගේ වන්දනා ස්තුති ප්‍රශංසා සියල්ල ඔබවහන්සේටම ඔප්පු වේවා.
මු : මාගේ මේ වන්දනාව හෘද්‍යාහපන්තරයෙන්ම වඩ වඩා ප්‍රකාශ කරන සැටියට *
උ : මාගේ දෙවියනි, මාගේ වන්දනා වාරයට අනුබලදී වදාළ මැනව.

දෙවැනි යුක්තිය

ස්තුති කිරීම

මු : මට ආත්මයක්ද, ශරීරයක්ද, ජිවිතයක්ද දානය කළාවූ මාගේ දෙවියනි. ඔබගේ අනන්ත දයා යහපත්කමට කවර ස්තූතියක් කරම්ද? *
උ : මාගේ දෙවියනි, ඔබටම ස්ත්‍රෝත්‍ර වේවා ! *
මු : මට ආත්මික ජිවිතයක්  දෙමින් ඔබගේ දරුවෙකු වීමට ප්‍රසාද දානය කළාවූ *
මු : අප ඔබට සමානවනු සඳහා අපට සමාන වෙන්ට කරුණා අභිප්‍රා වෙමින් මාංශ ගත්තාවූ *
මු : ඔබගේ  මරණයෙන් අපට ජීවිතය ලබාදී ඔබගේ දුඛයෙන් අපට ස්වර්ගීය සම්පත් ලබා දුන්නා වූ *
මු : අපගේ  මෑණියන්ද, ආරක්ෂාකාරිය හා මධ්‍යස්ථියද කොට ඔබගේ මාතා වන මරිය තුමන් අපට දෙවා වදාළාවූ *
මු : අප උදෙසා  සියලු දේව ප්‍රසාද නිධාන වල්ද ප්‍රධාන කොට දිව්‍ය සත්ප්‍රසාදයද ස්ථාපනය කර වදාළවූ *
මු :මාගේ මේ ස්තුතිය සියලු ධර්මිෂ්ඨයන්ගේ ස්තුතිය හා එක් කරමි *
මු : මාගේ මේ ස්තුතිය වඩ වඩා කළගුණ සැලකීමෙන් යුක්තව ප්‍රකාශ කරන සැටියට *
උ : මාගේ දෙවියනි, මාගේ ස්තුතියට අනුබළ දෙවා වදාළ මැනව.

තුන්වෙනි යුක්තිය 

ක්ෂමාව ඉල්ලීම

මු : ස්වාමිනි, ඔබගේ යහපත්කම සිහි කරන කළ මාගේ කළගුණ නැතිකම සහ පාපවල්ද මතක් නොකර සිටින්නේ කෙසේද? *
උ : ක්ෂමා කළ මැනව ස්වාමි.
ක්ෂමා කළ මැනව.*
මු : අහෝ මාගේ අපරාධවල් හා අතපසුකම් නඩු තීන්දු දිනේදී ප්‍රකාශ වෙන කළ මම කෙතරම් භයකින්  වෙව්ලන්නමීද *
මු : මාගේ අපරාධ වලට හේතුව දුෂ්ඨකමද එයින් පැමිණියාවූ භයංකර විනාශයද  දකින කළ අහෝ මම කෙබඳු බියපත් භාවයකට  පැමිණෙම්ද *
මු : මාගේ පාප හේතුකොට ගෙන දෙවියන් වහන්සේට විරුද්ධව නැගී සිටියායින් නිරා දුගතියට පත් වුණෙම් වේද *
මු : සෑම මනුෂ්‍යයන් විසින්ද ප්‍රධාන කොට මේ මිසමේද මාගේ පවුලේද සිදු වෙන්නාවු පාප වලට *
මු : මේ දේශවාසී පාපිෂ්ඨයන්විසින් කරනු ලබන්නාවූ අගදර වලට *
මු : ප්‍රධාන කොට දේව අපහාසකාරයින්ගේද ඉරුදින නුසුදුසු අන්දමින් පවත්වන්නන්ගේද අපරාධ වලට
මු : දිව්‍ය පූජාව නොඅසන්නාවූද තමන් කටයුතු ඉෂ්ට නොකරන්නාවූද ජවලිත මද ක්‍රිස්තියානින්ගේ අපරාධ වලට *
මු : අපගේ මේ ප්‍රතිකාරය  වඩ වඩා ප්‍රේමාන්විත හෘදයන්ගෙන් යුක්තව ප්‍රකාශ කරන සැටියට *
මු : මාගේ දෙවියනි, අපගේ  පසු තැවිල්ලද පාපයට තිබිය යුතු වෛරයද වැඩි   කර වදාළ මැනව.

සතරවැනි යුක්තිය

යාච්ඤාව

මු : ඔබගේ වරප්‍රසාද සම්පත් අයිශ්චර්යයන්අත පුරා ලබා ගන්නා සැටියට අප කැඳවන්නාවූ *
උ : ජේසුනි, අප කරන යාච්ඤාව ඇසුව මැනව. *
මු : අප ආත්මික ශාරීරික කටයුතු ආශීර්වාද කර වැඩි දියුණු  කර වදාරන සැටියට *
මු : ඔබ වහන්සේ ආදරේ වෙන්නටද නිතර වඩ වඩා ආදරේ වෙන්නටද   වරප්‍රසාද ඔබගෙන් ලැබෙන සැටියට *
මු : ඔබගේ මෙම ප්‍රේමයේ ආසනය නමැති  සත්ප්‍රසාදයට ඔබගේ   වන්දනීය හෘදයටද අප  ආදරණිය මෑණියන් වන නිර්මල මරිය තුමියටද විශේෂ අන්දමකින් ආදරේ වෙන සැටියට *
මු : අපට සිදුවිය හැකි  විපත්ති  අතුරෙන් අති මහත් විපත්ති නමැති පාපයෙන් අප පවුල් ආරක්ෂා කර ඒවා ආශීර්වාද  කර වදාරණ සැටියට *
මු : අප සියළු දෙනා ඔබවහන්සේට ස්වර්ග රාජ්‍යයෙහි සදාකාලයටම ප්‍රේම කරන්නට පුළුවන් වෙන පිණිස මේ ලෝකයෙහි අප  මුළු හෘදයෙන්ම ආදරය වෙන සැටියට *
මු : අප මිසමට ආශීර්වාද කර ධර්මිෂ්ඨයන්ගෙන් ජවලිතකම වර්ධනය කරන සැටියට *
මු : අප ආදරණිය මව් වන  ශු. සභාවට ද, ශුද්ධෝත්තම පියතුමන්ටද අප (අග්‍ර) රාජගුරුප්‍රසාදින් වහන්සේටද අප ආත්ම භාර ගුරු ප්‍රසාදීන්ටද ආශීර්වාද කර වදාරණ පිණිස *
මු : අපට යහපත සලස්වා දුන් අයටද  අප මිතුරන්ට හා සතුන්ට  ද අප විසින් යාච්ඤා කළ යුතු සියලු දෙනාටද ආශීර්වාද දී වදාරණ සැටියට *
මු : ශුද්ධිකාගිනිස්ථානයේ වද විඳින්නාවූ සියලු ආත්මයන්ට  නිත්‍ය සැතපීම දෙවා වදාරණ පිණිස *
මු : අප වුවමනා ඔබ ඉදිරියේ වඩා ඕනෑකමින් ප්‍රකාශ කරන පිණිස *
උ : මාගේ දෙවියනි, අප භක්තිය වැඩි කර වදාළ මැනව.

ස්වාමීනි අපට කරුණාකළ මැනව,
ක්‍රිස්තුනි අපට කරුණාකළ මැනව,
ස්වාමීනි අපට කරුණාකළ මැනව,

ජේසුනි අපේ ප්‍රාර්ථනා ඇසුව මැනව,
ජේසුනි කරුණාවෙන්  අපේ ප්‍රාර්ථනා ඇසුව මැනව,
පරමණ්ඩලවලෙහි වැඩඉඳින පිතාවන දෙවියනි,

(අපට කරුණාකළ මැනව)

ලෝකයේ රක්ෂාධිකාර වූ පුත්‍රවන දෙවියනි,
ස්ප්‍රීතුසාන්තුවන දෙවියනි,
සුපරි ශුද්ධ ත්‍රීත්වය වූ ඒක දෙවියනි,
ජීවමාන දෙවියන්ගේ පුත්‍ර වූ ජේසුනි,
පිතාගේ දීප්තිය වූ ජේසුනි,
නිත්‍යාලෝක බැබලීම වූ ජේසුනි,
මහිමතාවයේ රජ වූ ජේසුනි,
ධර්මිෂ්ඨකමේ සූර්යයා වූ ජේසුනි,
කන්‍යා මරියතුමියගේ පුත්‍ර වූ ජේසුනි,
අති ප්‍රේමවන්ත වූ ජේසුනි,
අති ආශ්චර්යමත් වූ ජේසුනි,
බලවන්ත දෙවි වූ ජේසුනි,
පරලෝක පිය වූ ජේසුනි,
මහ මන්ත්‍රණයෙහි දුතයා වූ ජේසුනි,
අති බලවන්ත වූ ජේසුනි,
අති ඉවසිලිවන්ත වූ ජේසුනි,
අති කීකරු වූ ජේසුනි,
මෘදු වූ යටහත් සිත් ඇත්තා වූ ජේසුනි,
වෘතයට ස්නේහය වූ ජේසුනි,
අපට ස්නේහ ඇත්තා වූ ජේසුනි,
සමාදානයේ  දෙවි වූ ජේසුනි,
ජීවනයේ නායකයා වූ ජේසුනි,
ධර්ම අදෘශය වූ ජේසුනි,
ආත්මවලට තද ආලය වූ ජේසුනි,
අපේ දෙවි වූ ජේසුනි,
අපේ සරණය වූ ජේසුනි,
දිළිඳුන්ගේ පිය වූ ජේසුනි,
විශ්වාසවන්තයන්ගේ නිධානය වූ ජේසුනි,
යහපත් එඬේරා වූ ජේසුනි,
සත්‍යාලෝකය වූ ජේසුනි,
සදාකාල ඥාණය වූ ජේසුනි,
අනන්ත යහපත්කම වූ ජේසුනි,
මාර්ගයත්, සත්‍යයත්, ජීවනයත් වූ ජේසුනි,
දේවදුත්යන්ගේ ප්‍රීතිය වූ ජේසුනි,
ආදිපිතුරුවන්ගේ රජ වූ ජේසුනි,
දිවස්ප්‍රසාදීන්ට වරම් දෙන්නා වූ ජේසුනි,
අපෝස්තලුවරයන්ගේ ස්වාමි  වූ ජේසුනි,
සුවිශේෂකයන්ගේ ගුරු වූ ජේසුනි,
වේදසාක්ෂින්ගේ ශක්තිය වූ ජේසුනි,
උච්චාරණයවාදීන්ගේ එලිය වූ ජේසුනි,
කන්‍යාවන්ගේ පති වූ ජේසුනි,
සියලු ශුද්ධවන්තයන්ගේ ඔටුන්න වූ ජේසුනි,
අපට කරුණා කළමැනව – ජේසුනි, අප ගලවා
වදාළ මැනව,
අපට කරුණා කළමැනව – ජේසුනි, අපේ
ප්‍රාර්ථනා අසාවදාළ මැනව.
සියලු නපුරෙන්,
සියලු පාපයෙන්,
ඔබගේ උදහසයෙන්,
යක්ෂයාගේ  මලපත්වලින්,
මෝහ රතියෙන්,
නිත්‍ය මරණයෙන්,
ඔබගේ ශුද්ධ වූ වරම් නොසැලකීමෙන්,
ඔබගේ ශුද්ධවූ මාංශගතවීමේ අභිරහස උදෙසා,
ඔබගේ ශුද්ධවූ උත්පත්තිය  උදෙසා,
ඔබගේ දිව්‍යමය වූ දිලිඳුබව උදෙසා,
ඔබගේ දිව්‍යමය වූ ජීවිතය උදෙසා,
ඔබගේ වෙහෙසවීම උදෙසා,
ඔබගේ වේදනා හා දුක්ප්‍රාප්තිය උදෙසා,
ඔබගේ කුරුසිය හා අත්හරිනු ලැබීම උදෙසා,
ඔබගේ රිදුම් හා හිංසා උදෙසා,
ඔබගේ මරණය හා භූමදානය උදෙසා,
ඔබගේ ශුද්ධ වූ උද්ගතය උදෙසා,
ඔබගේ ආශ්චර්යමත්වූ සවර්ගප්‍රාප්තවීම උදෙසා,
ඔබගේ අති ශුද්ධවූ සත්ප්‍රසාදය ස්ථාපනය කිරීම උදෙසා,
සැනසිලිදායක වූ ස්ප්‍රීතුසාන්තුගේ ඊම උදෙසා,
විනිශ්චය දිනේ දී,

ලෝක පාපවල් හරින දෙවාජබාලක වූ
ජේසුනි, අප ගලවා වදාළ මැනව.
ලෝක පාපවල් හරින දෙවාජබාලක වූ
ජේසුනි, අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව.
ලෝක පාපවල් හරින දෙවාජබාලක වූ
ජේසුනි, අපට කරුණා කළ මැනව.
ජේසුනි, අපේ ප්‍රාර්ථනා ඇසුව මැනව.
ජේසුනි, කරුණාවෙන් අපේ ප්‍රාර්ථනා ඇසුව මැනව.
ප්‍ර : ස්වාමීන්ගේ නාමය ආශීර්වාද වේවා !
උ : දැන් සහ සදාකාලයට ම වේවා !

අපි යාච්ඤා කරමු.

ඉල්ලව් තොපට ලැබෙයි, සොයව් සම්බවේ, තට්ටුකරවු හරිනු ලැබේය කියා වදාළ වූ ජේසුස් ක්‍රිස්තු ස්වාමී දරුවනි! වචනින් සහ ක්‍රියාවෙන් අපේ මුළු සිත්වලින් ම ඔබට ආදරේ වෙන පිණිසත් නිතර ඔබට ප්‍රශංසා කිරීමෙන් නොවළකින පිණිසත් ඔබගේ අති දිව්‍යමය වූ ප්‍රේමයේ ඵල ඔබගෙන් බැගෑපත් ලෙස ඉල්ලන්නවුනට දෙවා වදාළ මැනව. ආමෙන්.

විශ්වාසයින්ගේ අධික ප්‍රේමයට යෝග්‍ය ලෙසටත් නපුරු ස්ප්‍රිතුවලට ඉතා බියකරු ලෙසටත් තමන් වහන්සේගේ ඒකජාත පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ අති මහිම ඇති නාමය සලස්වා වදාළ වූ දෙවියනි, පෘථිවියේ දී ජේසුස් යන ශුද්ධ වූ නාමයට භක්තියෙන් ගෞරව කරන්නා වූ සියල්ලන්ට මේ ජීවිතයේ දී ශුද්ධ වූ සැනසිල්ලේ මිහිරත්, මතු නිත්‍ය ප්‍රීතියේ සැපතත් ලබාගන්ට කරුණාවෙන් සැලැස්සුව මැනව.
මෙ කී දේ අපේ ස්වාමි වූ ජේසුස්  ක්‍රිස්තු උදෙසා ම ලැබේවා – ආමෙන්.

ස්වාමිනි කරුණා කළමැනව.
ක්‍රිස්තුනි කරුණා කළමැනව.
ස්වාමිනි කරුණා කළමැනව.

ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසාවදාළ මැනව
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව

පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි,
ලෝකය නිදහස් කළාවූ පුත්‍රවන දෙවියනි,
ස්ප්‍රීතු සාන්තුවන දෙවියනි
සුපරිශුඬ ත්‍රිත්වයවූ ඒක දෙවියනි,

අපට දයා කළ මැනව.

කන්‍යා මාතාවන්ගේ ගර්භයෙහි ස්ප්‍රීතු සාන්තු විසින් සාදන ලද්දාවූ ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
දෙවියන්ගේ වචන  තුමාණන්ට භාවාර්ථයෙන් ඒකාබඬ වූ ජේසුතුමන්ගේ   දිව්‍ය හෘදයෙනි,
අප්‍රමාණ තේජස  හරිත වූ ජේසු   තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
දෙවියන්ගේ සුවිශුඩ මන්දීරයවන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
සර්වෝත්තමයාණන්ගේ මණ්ඩපයවන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
දෙවියන්ගේ ගෘහය සහ පරමණ්ඩල වාසල වන ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
ප්‍රේමයෙන් දැල්වෙන උදුනවන ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
ධර්මිෂ්ඨකමෙත් ප්‍රේමයෙත් නිධානයවන ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
දයා යහපත්කමින්ද දේව ප්‍රේමයෙන්ද පූර්ණවූ  ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
සියලු ධර්මගුණයන්ගේ සාගරයවන ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
සකල ප්‍රශංසාවලට යෝග්‍යවු ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
සමස්ත හෘදයන්ගේ රජාණෝද මධ්‍යස්ථානයද වන ජේසුතුමාගේ දිව්‍ය හෘදයෙනි,
ප්‍රඥාවන්ත කමෙන් දැනගැම්මෙන්  සියලු නිධාන අන්තර්ගතවූ ජේසු  තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
දෙව්කයේ සර්ව සම්පූර්ණකම වාසය කරන්නාවූ ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
පියාණන්ට අති ප්‍රිය ප්‍රසන්නවුනාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
ඔබගේ සම්පුර්ණකමින්  අප සියල්ලන් පොහොසත්  කරන්නාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
සදාකාලික පර්වතවල අභිමතාර්ථය වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
ඉවසිල්ල සහ අති මහත් දයාව ඇත්තාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
ඔබට යාච්ඤාකරන  සමස්තයන්ට ත්‍යාගිවන්තවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
ජිවිතයෙන් ශුඩවන්තකමෙන් උල්පතවන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
අපේ පව් උදෙසා බිලි පූජාවක්වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
තද අවමානවලින් පිරුණාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
අපේ අපරාධ නිසා පොඩිකරන ලද්දාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
මරණය දක්වා කීකරු වුනාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
හෙල්ලයකින් සිදුරුකරන ලද්දාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
සියලුම සැනසීමේ උල්පතවන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
අපේ ජීවිතයත් උත්ථානයත් වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
අපේ සමාදානයත්  නැවත මිතවීමත්  වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
පව්කාරයන්ගේ බිළි පඬුරක්වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
ඔබ කෙරෙහි බලාපොරොත්තු වන්නන්ගේ රක්ෂණය වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
ඔබ කෙරෙහි නසින්නන්ගේ බලාපොරොත්තුව වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
සමස්ත ශුඬවන්තයන්ගේ  ආනන්දය වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි,
ලෝක පාපවල් හරින දෙවාජ බාලකවූ  ජේසුනි,
අපට ක්ෂමා කළමැනව ස්වාමි
ලෝක පාපවල් හරින දෙවාජබාලකවූ   ජේසුනි,
අපේ ප්‍රාර්ථනා අසාවදාළ මැනව ස්වාමි
ලෝක පාපවල් හරින දෙවාජබාලකවූ ජේසුනි,
අපට දයා කළමැනව ස්වාමි.

පදය :- හෘදයෙන් ශාන්තදාන්ත වූද බැහැපත් වූද ජේසුනි,
උ :- අපේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදයට සමාන කළමැනව.

යාච්ඤා කරම්හ

සර්වවල්ලභවූ සදාකාලිකවූ දෙවියනි, ඔබගේ අති ප්‍රේමනීය පුත්‍රයාණන්ගේ දිව්‍ය හෘදය ද උන්වහන්සේ පවුකාරයන් නමින් ඔබට පිදුවා වූ ප්‍රශංසාද පාපවලට වන්දි වශයෙන් කරන කෘත්‍යයන් ද බලා ඔබගේ කරුණාව අයදින්නා වූ අය දෙස ඔබගේ දයා බැල්මලා ඔවුන්ට ක්ෂමාව දුනමැනව.

මෙකීදේ ඔබ හා ස්ප්‍රීතු සාන්තු සමග එකම දෙවියන්ව සදාකල් වැඩසිටින්නාවූ ද, රජකම් කරන්නාවූ ද, ඔබගේ එම පුත්‍රවන ජේසු ක්‍රිස්තු තුමන්ගේ නාමයෙන් ලැබේවා !   ආමෙන්.

අති අමෘතබරවූ ජේසුනි, මනුෂ්‍ය ජාතීන්ගේ ගැලවුම් කාරයාණනි, ඔබ ගේ පූජාසනය හමුවෙහි බැගෑපත්ව වැඳ වැටී සිටින අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අපි ඔබට අයිති වෙමු. සැම කල්හිත් අපි ඔබට අයිති වෙන්නට කැමැත්තෙමු. තවද ඔබ හා සමඟ වඩා ස්ථීරව එකඟ වෙන පිණිස අද දින දී ස්වකීය කැමැත්තෙන්ම අපෙන් එක ඒකා ඔබගේ දිව්‍ය හෘදයට තම තමා කැප කරයි.

බොහෝ ජනයෝ කවර කලෙකවත් ඔබ ඇඳින නොගත්තෝය. බොහෝ දෙනාද ඔබගේ පණත් හෙලා දැක ඔබ ප්‍රතික්ෂේප කළෝය. අති දයාබර ජේසුනි, ඔවුන් සමස්තයන්ට ඔබ දයානුකම්පා වී ඔබගේ දිව්‍ය හෘදය කරා ඔවුන් ගෙන්වා වදාළ මැනව.

ස්වාමිනි කොයි කලකදීවත් ඔබ ගෙන් ඉවත්ව නොගිය විශ්වාසකයින්ට පමණක් නොව ඔබට පිටුපා ගීය අකීකරු දරුවන්ටත් ඔබ රජාණන් වන සේක්වා. ඔවුන් කාලකන්ණි කමින් ද, සාගින්නෙන්ද විනාශ නොවන සැටියට ස්වකීය දෙවිපියාණන්ගේ ගෘහයට වහාම නැවත හැරී එන මෙන් කරුණා කළමැනව.

වැරදි මතවලින් රවටනු ලැබූ නොහොත් ස්වකීය ඇල්ම වලින් මුලා වී ගීයවුන්ටත් ඔබ රජාණන් වන සේක්වා. එකම බැටළු රැලක් ද එකම එඬේරෙක් ද වෙන  සැටියට සත්‍ය තාවයෙත් විශ්වාසයෙත් එකත්වයෙත් වරායට ඔවුන් ගෙන්නුව මැනව.

ස්වාමිනි, ඔබගේ ශුද්ධ වූ සභාවට ස්ථිරවූ ද, බාධා නැති වූ ද, නිදහස දුන මැනව. සියලු දේශ ජනයන්ට නිසි ක්‍රමය හා සමාදානය දෙවා වදාළ මැනව. මේ ලෝකයේ සීමාවෙන් සීමාවට සෑම තැන්හි අපට ගැලවීම සම්පාදනය කළ දිව්‍ය හෘදයට ප්‍රශංසා ලැබේවා. උන් වහන්සේට මහිමයත් ගෞරවයත් සදා කල්හි ලැබේවායි සමස්තයෝ එකම ශබ්දයෙන් කියත්වා. ආමෙන්.

ආ ජේසුස් ස්වාමිදරුවෙනි ! දිව්‍ය ගැලවුම් කරයාණනි! දිව්‍ය හෘදයේ මුරකාරවූ ඔබවහන්සේගේ දරුවන් පිට කරුණා බැල්මලා වදාරණවා සොඳේ. ඔව්හු විශ්වාසයේත්, ප්‍රතිකාරයෙත්, ප්‍රේමයෙත් එකම සිත් අභිප්‍රායෙන් එකමුතුවී තමන්ගේද කාලකන්ණි සියලු පව්කාරයන්ගේද අවිශ්වාසකම ගැන දුක් මනස්ථාපයෙන් තැවී සිටිති. අප විසින් කරන්ට යන එක්සිත්වූද ප්‍රසිඬවූද වාක්දාතවලින් ඔබවහන්සේගේ දිව්‍ය හෘදය දයානුකම්පාවී අපටද, ලෝකයාටද, ඔබ වහන්සේට ප්‍රේම නොවන අවාසනා වන්තවූ සියල්ලන්ටද ඔබට ප්‍රේමවන්ත කරුණාව ලැබේවා. මින්මත්තට අපි සියල්ලෝම වාක්දාතයක් දෙමු. එනම් මනුෂ්‍යයන්ගේ මතක නැතිකමත් කෙලෙහි ගුණ නැතිකමත් උදෙසා.

ස්වාමිනි අපි ඔබවහන්සේගෙන් සමාව අයදිමු.

දිව්‍ය සත්ප්‍රසාද මණ්ඩපයෙහි ඔබවහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැබීම උදෙසා,
පව්කාරයන්ගේ අපරාධ උදෙසා,
අභක්තිකවුවන්ගේ වෛරය උදෙසා,
ඔබවහන්සේට කියනලද අපහස්‍ය වචන උදෙසා,
ඔබවහන්සේගේ දෙව්කයට කරනලද තද අවමාන උදෙසා,
ඔබවහන්සේගේ ප්‍රේමයේ ප්‍රසාද නිධානය දුෂ්‍යකරන ද්‍රෝහිකම් උදෙසා,
ඔබවහන්සේගේ දිව්‍ය සම්මුඛයෙහි සිඬ කරනලද අගෞරවාචාරයත් අවමානයත් උදෙසා,
වන්දනීයවූ බිලිපුජාවක් වන ඔබවහන්සේට කරනලද තද අනදර උදෙසා,
ඔබවහන්සේගේ දරුවන්ගෙන් මහත් කොටසක් දක්වන අලසකම උදෙසා,
ඔබවහන්සේගේ ප්‍රේමවන්ත අවවාද සුළු කිරීම උදෙසා,
ඔබවහන්සේගේ මිත්‍රයෝය කියමින් මග හරින ඔවුන්ගේ අවිස්වාසය උදෙසා,
ඔබවහන්සේගේ වරප්‍රසාද නිරර්ථක කිරීම උදෙසා,
අපේ අවිස්වාසවන්තකම් උදෙසා,
අපේ හෘදයන්ගේ අවින්ත්‍යවූ දැඩිකම උදෙසා,
ඔබවහන්සේට ප්‍රේම වීමට අපේ දීර්ඝ ප්‍රමාද කිරීම උදෙසා,
ඔබවහන්සේගේ දේව මෙහෙයෙහි අපේ ඇල්මැරුණු ගතිය උදෙසා,
ආත්මයන් විනාශවෙන නිමිත්තයෙන් ඔබ වහන්සේගේ තික්ත දුක් කණගාටු උදෙසා,
ඔබවහන්සේ අප හෘදවාරය ලඟ ආශාවෙන් බලා වැඩ සිටීම උදෙසා,
ඔබවහන්සේගේ සිත වේදනා කරවන දුෂ්ට හෙලාදැකීම උදෙසා,
ඔබවහන්සේගේ ප්‍රේමවන්ත සුසුම්ලෑම් උදෙසා,
ඔබවහන්සේගේ ප්‍රේමවන්ත සිරගත වීම උදෙසා,
ඔබවහන්සේගේ ප්‍රේමවන්ත උකුතවීම උදෙසා,

යාච්ඤා කරම්හ

ජේසු ස්වාමිදරුවෙනි, දිව්‍ය ගැලවුම් කරයාණනි, ඔබවහන්සේගේ දිව්‍ය හෘදයෙන්ම දුක්ඛිතවූ මැසිවිල්ලක් නික්මුණේය. එනම් ම සනසන්නකු බලා සිටි නමුත් කිසිවෙක් සම්භනුණේය. අප ඔබවහන්සේට ඔප්පු කරන සුළු සැනසීම කරුණාවෙන් පිළිගත මැනව. මින්මතු ඔබවහන්සේට අප්‍රසන්න සියල්ලෙන් වැඩි වැඩියෙන් අහක්වී යන්ටත් සියල්ලෙහිද සෑම තැන්හීද සහ සදා කල්හිත් අප ඔබවහන්සේගේ දිව්‍ය හෘදයේ අති විශ්වාසවන්තවූද ජවලිත භක්තිවූද මුරකාරයන් බව ප්‍රකාශකරන සැටියට ඔබවහන්සේගේ වරප්‍රසාද අපට දෙනවා සොඳේ. එකම දෙවිවූ පියාණන්වහන්සේ සමගද ස්ප්‍රීතු සාන්තු වහන්සේ සමගද, සදාකාලයටම ජිවත් වෙන්නාවූද, රජකම් කරන්නාවූද ඔබ වහන්සේගේ දිව්‍ය හෘදය බලා එසේ ලැබෙන මෙන් උදක්ම ඉල්ලා සිටිමු.  ආමෙන්.

ගෘහමූලික :- පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීතු සාන්තුගේ නාමයෙන්. ආමෙන්.

සියලුදෙනාම ස්ප්‍රීතු සාන්තු ගීතිකාව ගයන්න.

ගෘහමූලිකයා :- දැන් අපි අළුත් ගිවිසුමේ පාඨකයට සවන් දෙමු.
කියවීම :- ශු: ජුවාම් 15/5 – 17

ගෘහමූලිකයා :- දිව්‍ය හෘදයේ ප්‍රාර්ථනාව 
ගෘහමූලිකයා :- පවුල දිව්‍ය හෘදයට කැපකිරීමේ යාච්ඤාව.

පවුල දිව්‍ය හෘදයට කැපකිරීමේ යාච්ඤාව

ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි, ඔබ වහන්සේ ක්‍රිස්තියානි පවුල් වල රජාණන් මෙන් ආණ්ඩු කිරීමට ඔබට ඇත්තාවූ ආශාව ශුඬවූ මර්ගරීතා මරිය තුමීට ප්‍රකාශ කළා වේද? මෙහි රැස්ව සිටින අපි අපේ මේ පවුල් කෙරෙහි ඔබට සම්පුර්ණ ආණ්ඩු බලය ඇති බව ප්‍රකාශ කරන පිණිස මෙහි පැමිණ සිටිමු. මෙතැන් පටන් ඔබගේ ජිවිතයෙන් අපිද ජිවත් වෙන්ට ආශා වෙමු. ඔබගේ පොරොන්දුව පරිද්දෙන් මෙලොව සමාදානයට හේතුවූ ගුණධර්ම මේ පවුලේ දියුණුවනු දැකීමට අපි ආශාවෙමු. ඔබ විසින් ශාප කරනු ලද්දාවූ ලෞකික ගතිය දුරු වෙනු දැකීමට ආශාවෙමු.

අපේ අවංක විශ්වාසය කරණකොට ගෙන ඔබ අප සිත් තුළ රජකම් කළ මැනව. ඔබ කෙරෙහි සම්පුර්ණ ලෙස ඇවිලෙන ප්‍රේමය කරණකොට ගෙන අප හෘදයන් තුළ රජකම් කළ මැනව. අපි වනාහි විටින් විට දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීමෙන් මෙකී ප්‍රේමය දියුණු කර ගනිම්හ.

අහෝ ශ්‍රී හෘදයෙනි ! ඔබවහන්සේ අප සභා රැස්වීම් වලට මූලික වුව මැනව. අපේ ආත්මික හා ලෞකික කාරණාවලට ආශීර්වාද කළමැනව අපේ සියලු ශාන්කා දුරුකල මැනව. අපේ සන්තෝෂ පිරිසිඳු කළ මැනව, අපේ දුක් කණගාටු සංසිඳුව මැනව.

අහෝ අති පරිශුද්ධ හෘදයෙනි, අපෙන් යමෙක් යම් කලෙකදී ඔබට අප්‍රසන්න වූ යමක් කරන තරම් නීචවූයේනම්, එතකුදු වුවත් ඔබ වනාහි පශ්චාත්තාපිකවූ පව්කාරයා කෙරෙහි යහපත් වූ ද කරුණා හරිත වූ බව සිහි කළ මැනව. අප එකිනෙකා ගෙන් වෙන් විය යුතු කාලය පැමිණි කල්හිත්, මරණය විත් අප ශෝකපත් කරන කල්හිත් මෙලොවින් තුරන්ව යන අයද මෙලොව නතරවෙන අයද යන අප සියල්ලන් ඔබගේ සදා කාල නියෝග වලට යටහත් බව ප්‍රකාශ කරන්නෙමු. මේ පවුලට අයිති සියලු දෙනාම දිනක මෝක්ෂ රාජ්‍යයේ එකතුවී ඔබගේ මහිමයත් උපකාර වලුත් වර්ණනා කරතැයි යන බලාපොරොත්තු වෙන් අපි සැනසීම ලබන්නෙමු.

මරිය වහන්සේගේ නිර්මල හෘදයද අපගේ කීර්තිමත් ආදී පිතෘවන ශු. ජුසේ තුමන්ද ඒ කැප කිරීම ඔබට ඔප්පු කොට එය අපේ ජීවිතාන්තය දක්වා අපිට සිහිපත් කරන ලෙස අපි ප්‍රාර්ථනා කරම්හ.

අපේ රජාණන් හා පියාණන් වන ජේසු තුමන්ගේ ශ්‍රී හෘදයට ගෞරව අත්වේවා !
ආමෙන්.

දෙව්මව් ගේ ආරක්ෂාව පතා

දුකින් බරිත වූද, නිර්මල වූද හෘදයක් ඇති අති භාග්‍යවන්ත වූ කන්‍යාවෙනි, මේ ගෘහයේ ස්වාමි දූ හා රැජින වශයෙන් අපි ඔබව හඳුනා ගනිමු. ගින්නෙන්, ජලයෙන්, ගිගුරුම්, කුණාටු, භූමි කම්පා, සොරුන්, අධර්මිෂ්ඨයන්, විප්ලවයන්, යුද්ධ, ගුවන් ප්‍රහාර, පීඩන, බදූ බර, ලෙඩ රෝග යනාදීයෙන් හා ඔබ දන්නා වෙනත් සෑම උවදුරකින්ම අප රැක ගැනීමට කරුණා කළ මැනව. මෙහි සිටින්නවුන්ට හා සිටින්ට යන අයද ඔබගේ පෞද්ගලික වස්තුවක් මෙන් ආශීර්වාද කර, ආරක්ෂා කර, රැකවල් කර, ප්‍රවේශම් කළ මැනව, විපත්වලින් හා අවාසනාවන්ත කමින් ඔවුන් වැළැක්වුව මැනවී. මේ සියල්ලටම වඩා දෙවි පියාණන්ට ඔවුන්ගෙන් වරදක් නොවන පිණිස ප්‍රවේශම් කළ මැනව.

තවද මේ ගෘහයට ප්‍රවේශ වන සියල්ලෝ දෙවියන්ගේ මහිමය සඳහාද. ජේසුතුමන්ගේ හා මරිය වහන්සේගේ රජකම සඳහාද ක්‍රියා කරත්වා. අහෝ, ජේසුනි, මරියනී, ඔබ වහන්සේලාට සදහටම මේ ගෘහය කැපවේවා. එහි වෙසෙන සියල්ලන් සමඟ එයට ආශීර්වාද ලැබේවා.  ආමෙන්.

ගෘහමූලික : පවුලේ මිය ගියාවූ සියලු දෙනා උදෙසා පරමණ්ඩලයක්, නමෝ මරියක් සහ පිතා පුත්‍රයා කියන්න.

අන්තිමට සියළු දෙනා : හෘදයෙන් සාන්ත දාන්තවූද, බැහැපත් වූද ජේසුනි, අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදයට සමාන කළ මැනව.

කුරුසියේ පාදනමස්කාරය

පාදනමස්කාරය සඳහා සූදානම් වීමේ පිළිවෙත.

පිතාගේත්, පුත්‍රයාගේත්, ශුද්ධාත්මයාණන්ගෙත් නාමයෙන්, ආමෙන්.

(ජේසු තුමන්ගේ දුක්ප්‍රාප්තිය සිහිකරමින් උන්වහන්සේ පසුපස ගමන්කර, අපගේ ජිවිත අර්ථ වත් කර ඵලදායි කරගැනීමට උන්වහන්සේ වදාළ වචනයන්ට සහ පෙන්වූ මාර්ගයන්ට අප සුදුස්සන් වන පිණිස , මෙතෙක් අප කළ වැරදිවලට මනස්ථාප වී, සමාව ඉල්ලමු.)
(මොහොතක් නිශ්ශබ්ද වන්න)
දයාධික මනස්ථාපය (1) (යා.ගී.පිටු:10)

ජීවිතය අර්ථවත් ලෙස ජිවත්කරවීම එතරම් පහසු කෘතියක් නොවේ. බොහෝවිට ජීවිතය වෙලී ඇත්තේ ජිවිත ප්‍රබෝධයන්ට වඩා දුක් කරදර කම්කටොලු පීඩා සහ විවිධ බාධකයන් මගිනි. මෙවැනි කටුක අවස්ථාවන්හී හුදකලාව ඒවායින් මිදීම පහසු කටයුත්තක් නොවේ. ජිවිතයේ උතුම් කම සහ ප්‍රශ්නයන්ගේ කටුක කම දන්නා ක්‍රිස්තුස් වහන්සේ ජිවිත ගමනට දිරියක් වීමට, පැමිණෙන ප්‍රශ්ණයන්ට එඩිතරව මුහුණදී ජයග්‍රහණය කරා ලඟා කරවීමට මග පෙන්වනු වස් උන්වහන්සේ කුරුසිය භාරගත් සේක.

එබැවින් අප ජිවිතගමනේ කුරුස ද. උන්වහන්සේගේ ශුද්ධවූ කුරුසයට යොමුකර. ජිවිතයේ උතුම් කම ද, පැමිණෙන දුක් කරදර ජයගන්නා ක්‍රමය ද, ශ්‍රේෂ්ඨ ජිවිතයක් ගත කිරීමට ශක්තියද, එමඟින් ජිවිත විමුක්තියද මේ ශුද්ධවූ කුරුසිය මාර්ගයෙන් ලබා ගනිමු.

මෙම පාදනමස්කාරයට සහභාගී වන අපි වැටුනු පරාජිත, ඇල්මැරුණු, ජිවිතයක් නොව, එඩිතර, ප්‍රබෝධමත්, ක්‍රියාකාරී, කිතුණු ජිවිතයක් ගත කිරීමට අපට ද, පවුලට ද, මුලු මහත් සමාජයටමද පිහිට ලැබෙන ලෙස යාච්ඤා කරමු.

(ස්වර්ගයේ වැඩසිටින – නමෝ මරියනි, ත්‍රිත්ව ස්තෝත්‍රය)

මල් උයන 

පියාණනි, හැකිනම් මේ දුක්ප්‍රාප්තිය මාගේන් අහක් වේවා. නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේම කැමැත්ත සිදුවේවා (ශු. මාක් 14 – 36)

භාවනාව : 
      සේනාකුලු ශාලාවේ තම ගෝලයන් සමඟ අන්තිම භෝජනයට සහභාගීවූ ජේසුතුමා විශේෂ සිද්ධීන් තුනක් ඉටුකළ සේක. පාද දොවනයෙන් බැහැපත් කමද, ප්‍රේමයේ පණතින් කිතුණු මාර්ගයද, දිව්‍ය භෝජනයෙන් තමන් තමා බෙදා දීමේ පිළිවෙතද ඉටු කළහ. ඊට පසු තව මොහොතකින් තමන් මුහුණ දීමට යන යාගික බිළිපඬුරට සූදානම් වීම සඳහා ගෝලයන් සමඟ ජෙත්සේමනි නමැති මල්උයනට ගමන් කළ සේක. මෙතැන්සිට කුරුසියේ මරණය දක්වා තමන්ට   විඳීමට සිදුවන සියළුම අවමාන්න කුරිරු  වේදනා සහ කුරුසියේ යාග වේදනා උන්වහන්සේට මැවී පෙනෙන සේක. එබැවින් තම පියාණන්වහන්සේගෙන් ශක්තිය ඉල්ලන සේක.

අප ජිවිතයේ මුහුණ පෑමට සිදුවන සියළු දුක් කරදර කම් කටොළු සියල්ල කිතුණු ලීලාවෙන් දරා ගැනීමට ඒ සියල්ලට බිය නොවී ඉදිරියට ගමන් කිරීමට සමිඳුන් තුළ අප තීරනය කරමු.

යාච්ඤාව:
     පෙම්බර ජේසුනි මල් උයනේ ඔබ කළ යාච්ඤාව මගේ දිවි ගමනේ අත්වැල කළ මැනව.
ඔබ   කුරුසිය ගමනින් මා ජිවිත ගමන සවිමත් කළ මැනව ආමෙන්.

ප : ඔබගේ කැමැත්ත මාගේ ජිවිතයේ හරය වුව මැනව.

උ : ස්වාමිනි මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත පිළිගැනීමට මට පිහිට වුව මැනව.
ආමෙන්.

1 වන ස්ථානය

ජේසු ස්වාමිදරුවෝ මරණයට තීන්දුව ලබන සේක.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
      ක්‍රිස්තුතුමන්ගේ දුක්ප්‍රාප්තිය සිහිකරන අපට පිලාත්තුගේ අසාධාරණ නඩු තීන්දුවද, ජුදා පිරිසගේ රුධිර පිපාසයද, නායක පුජකයන්ගේ කෲරතර  බලපෑමද, ලෝක ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය වූවද. එය එදාට පමණක් සිමාවූවක් නොවේ.අද සමාජයේ අප ධනයට, බලයට, මන්නයට ආශාවෙන් අසාධාරණයක් සිදු කරන සෑම අවස්ථාවකදීම අප පාවාදෙන්නේ එම පුද්ගලයා පමණක් නොව ඔහු තුල සිටින ජීවමාන ජේසු තුමන්ය. එබැවින් අපට මොනයම් අවමාන්නයක් හෝ  පාඩුවක් හෝ දරා ගැනීමට සිදුවුවත් කිසිදිනක, කිසිම කෙනෙකුට අසාධාරණයක් නොකිරීමට අප තරයේ සිතට ගනිමු.

මාගේ අමෘතබරවූ ජේසුනි! මාගේ ජිවිත ගමනේදී ධනයට, බලයට, මාන්නයට වහල් වි යමෙකුට අසාධාරණයක්, අයුක්තියක් කරන සෑම මොහොතකම මම ඔබවහන්සේට විරුද්ධව කැරලි ගසන්නෙම් වේද එබැවින් ඔබ වහන්සේගේ බැහැපත් කම හා සාධාරණකම නිතර සිහිකර එවැනි පාපිවූ අවස්ථාවලින් නිතර ජයගැනීමට මට ඔබවහන්සේගේ ශක්තිය දුන මැනව. ආමෙන්.

ප : ස්වාමිණි අප රට පාලනය කරණ නිළදරුවන් යුක්තියේ හා සාධාරණත්වයේ මාර්ගයේ ගමන් කරවනු මැනව.

උ : ඔවුන් ආරක්ෂාකර ආශීර්වාද කළමැනව.
ආමෙන්.

2 වෙනි ස්ථානය

ජුදෝ ජේසු ස්වාමිදරුවන්ගේ ශ්‍රී කරපිට කුරුසිය තබති.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
     එදා සමාජයේ ශාපයක් ලෙස සැලකුණු නීච දඩුකඳ වන කුරුසිය ජේසුතුමා සතුටින් භාර ගත් සේක. එදා කුරුසිය තුළින් පටවන ලද ලොවැසි සැමගේ පාපයන්ට වන්දි  ගෙවීම පිණිස එතුමා එය මත තම ජීවිතය පුදකළ සේක. මෙම හේතුවෙන් එම නින්දිත කුරුසිය මිදීමේ සලකුණක් හා ඉතා ශේෂ්ඨ පූජනීය වස්තුවක් කළ  සේක.

අපද දෛනික ජිවිතයේ පැමිණෙන දුක් කරදර, කම්කටොලු නමැති කුරුසියත්, ජේසුතුමන්ගේ නාමයෙන් සතුටින් භාරගන්නේ නම්, ඒවා තුළින්ම ජයග්‍රහණය කරා ගමන් කිරීමට අපට උන්වහන්සේගේ ශක්තියෙන් හා ධෛර්යයෙන් ඒකාන්තයෙන්ම හැකිවෙන්නේය.

මාගේ අමෘතබරවූ ජේසුනි ! එදා සමාජය ප්‍රතික්ෂේප කළ ඒ නීච දඩුකඳ ඔබවහන්සේ සතුටින් කරටගෙන එයම ගැළවීමේ සංකේතයක් බවට පත් කළ සේක්වේද, ජිවිත ගමනේ අපට පැමිණෙන කුරුස සතුටින් භාර ගැනීමට ද ඒවා තුළින්ම ජයග්‍රහණය ලබා ගැනීමටද ඔබවහන්සේගේ ධෛර්ය අපට ලබා දුන මැනව.  ආමෙන්!

ප්‍ර : ස්වාමිණි, ජිවිත ගමනේ දුකින් මිරිකී සිටින ඔබගේ දරුවන්ට සහනය දුන මැනව.

උ : ඔවුන්ට සහනය දුන මැනව.
ආමෙන්.

3 වෙනි ස්ථානය

ජේසු ස්වාමිදරුවෝ කුරුසියේ බරෙන් පළමුවෙනි වරට බිම වැටෙන සේක.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
      කායික වේදනාවන්ගෙන් හා   මානසික පීඩාවන්ගෙන් ජේසුතුමා අප්‍රාණිකව  සිටියාට කිසිදු සැකයක් නැත. නමුත් ඒ සියල්ලට වඩා උන්වහන්සේගේ අප්‍රාණිකව  කුරුසියේ බරෙන් වැටී සිටින්නේ අපගේ ගුණමකුකම නිසාය. සුගති උයනේ අප ආදී මව් පියන් ගුණමකු වි අහංකාරයෙන් උදම් වී දෙව් අණ කඩකලාක් මෙන්, අද සමාජයේ ද මිනිසා අහංකාරයෙන් අකීකරු කමින් දැන දැනම දේව අණ කඩ කරයි. නැතිබැරිකම්, ලෙඩදුක්, හිරිහැර පැමිණි විට දෙමව්පියාණන්ගේ ලැදිකම අමතක කර නොයෙක් මාදිලියේ යක්ෂ මායම්වලට පෙළඹෙයි. උඩඟුවත්, අවිශ්වාසයත් ජිවිතයේ විනාශය බව පහදා දෙන ජේසුතුමාගෙන් බැහැපත් කමේත්, දේව අණට කීකරුවීමෙන් උතුම් කම වටහා ගනිමු.

මාගේ අමෘතබරවූ ජේසුනි! මිනිසාගේ උඩඟුවට අහංකාරයට ඔබවහන්සේ වන්දි ගෙවන සේක් වේද. එදා සුගති උයනේ මෙන් අද සමාජයේ පවතින් ව්‍යාජ ආටෝපයන්ට නොරැවටී සත්‍යයට, යුක්තියට ගරු කරමින් නිහතමානි ලෙස ජීවිතය ගත කිරීමට අපට සහය වුව මැනව. ආමෙන්.

ප : ස්වාමිණි, පාපිවූ අපට කරුණාකර වදාළ මැනව.

උ : අපට කරුණාකර වදාළ මැනව.  ආමෙන්.

අ වෙනි ස්ථානය

ජේසු ස්වාමිදරුවන්ට උන්වහන්සේගේ පිරිසිඳු මෑණියෝ සම්මුඛවන සේක.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
      මව්වරුනි! පියවරුනි! මේ ඔබේ ස්ථානයයි, ” අමු ගහට මේ දෙය සිදුවූවානම් වියලි ගසට කුමක් සිදුවේ දෝ” යන දේව වාක්‍යය සිහිකරන්න. තම පෙම්බර පුතනුවන්ගේ මේ ඛේදවාචකය දුටු දේව අම්මාට මොන තරම් හදෙහි ගින්නක් ඇතිවන්නට ඇත්ද?

වීක්ෂෝප මෑණියන්ගේ මේ වේදනා සිහිකර දෙමව්පියන්ට දරුවන් කෙරෙහි යුතුකම් ඉෂ්ඨ කිරීමටත්, තම දූ පුතනුවන් නිසි මගට යැවීමටත් අදිටන් කර ගන්න. අද සමාජයේ ඇති විවිධ මාදිලියේ දුෂණයන්ගෙන්ඔවුන් මුදාගෙන දෙලොවට වැඩදායක දරුපිරිසක් ඇති දැඩි කිරීමට පිහිට ඉල්ලමු.

දෙව් පිය අභිමතය අනුව සමිඳුන්ගේ මිදි උයනේ සේවය කිරීමට අප පවුල්වල දූ දරුවන් දිරි ගන්වමු.

මාගේ පෙම්බර මෑණියනි! කුරුසිය කරතබා ගෙන කල්වාරි යාගයට පිය නගන ඔබ පුතනුවන් දැක කම්පනයට පත් වූ සේක් වේද? මව්පියන් වශයෙන් අප දරුවන් කෙරෙහි අපට පැවරී ඇති සියළු යුතුකම් නිසිලෙස ඉෂ්ට කිරීමටද. සමාජ දුෂණ වලින් අප දරුවන් බේරා ගෙන ඔවුන් නිසි මග ගමන් කරවීමටද අපට පිහිට වුව මැනව.  ආමෙන්

ප : ස්වාමිණි, තම දරුවන් යහමග ගෙනයාමට අප දෙමව්පියන්ට පිහිට වුව මැනව.

උ : ඔවුන්ට ආදර්ශයක් වීමට සහය වුව මැනව.
ආමෙන්.

5 වෙනි ස්ථානය

කුරුසය ගෙනයන පිණිස සීමොන් සිරිනේවුස් ජේසු ස්වාමිදරුවන්ට උදව්වෙයි.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
      සීමොන් සිරිනේවුස් මගියෙකි. වධක කුරුසියකට කරතැබීමට ඔහුට උවමනාවක් නැත. සොල්දාදුවන්ගේ බලකිරීම ඔහු පිළිකුල් කලේය. එහෙත් පුදුමයක් සිදුවිය. කුරුසිය කරතබා ගෙන ය ජේසු ඔහු වෙත බැලිය. ඔහුගේ සිත මෘදු වි උණුවී ගියේය. සිත තුල ඇතිවූ අනුකම්පාසහගත බව නිසා හේ ජේසුගේ කුරුසියට අත ගැසීය.

අද සමාජයේ තම ජිවිත කුරුසවලින් මිරිකී, බරවී ඉදිරියට යගත නොහැකිව වේදනා විඳින ජිවිත අපට හමුවේ. මේ දුටු විට ඇඟ බේරාගෙන තම සැප පහසුව සිතීම අපගේ ස්වභාවය වෙයි. එහෙත් දුක, වේදනාව, නැතිබැරිකම දුටු විට පරිත්‍යාගශීලීව අන් අයට උදව් වීමට අප ඉදිරිපත් විය යුතුව ඇත.

මාගේ අමෘතබරවූ ජේසුනි! වංක කමින් හා ආත්මාර්ථකාමයෙන් නිතරම අප මිනිස් සිත් තෙරපෙන නමුත්,ඔබවහන්සේ ලොවට ප්‍රකාශ කළ ප්‍රේමයේ පනත අනුව නිතර පරාර්ථකාමයෙන් අසල්වැසියාට අතහිත දීමටද, ජිවිත කුරුස බරින් වේදනා විඳින සැමට සහන සැලසීමටද අපට ඔබ වහන්සේගේ ධෛර්ය දානය කළ මැනව. ආමෙන්.

ප : ස්වාමිනි, අසල් වැසියාට ප්‍රේම කිරීමටද සහය වීමටද අප දිරි ගැන්වුව මැනව.

උ : ඔවුන් සහෝදරත්වයෙන් ක්‍රියා කිරීමට සැලැස් වුව මැනව. ආමෙන්.

6 වෙනි ස්ථානය

වෙරෝනිකා නම් භක්තිවන්ත ස්ත්‍රී ජේසු ස්වාමිදරුවන්ගේ ශ්‍රී මුහුණ මණ්ඩලය පිසදමයි.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
   අද සමාජයේ මෙන් නොව එදා සමාජයේ ජුදා කාන්තාව මුළු  ගැන්වී සිටියාය.එහෙත් කඳුළින්, ලෙයින්, දහඩියෙන් සහ ජුදයින්ගේ කෙළ වලින් විරූපී වි තිබු ජේසුගේ සිරි වත මඬල දුටු වෙරෝනිකා නම් බැතිමත් කාන්තාවගේ හද  උණුවිය.ඇය එඩිතර වූවාය. සොල්දාදුවන්ගේ විරෝධයට බිය නොවී ජේසුගේ ශ්‍රී වත්මණ්ඩලය පිස  දැමීමට ඉදිරිපත් වූවාය. ඒ ක්‍රියාව අගය කල ජේසුතුමාණෝ ඇය පිළිගැන්වූ සළුවෙ  උන්වහන්සේගේ දුක්බර ශ්‍රී වතමඬල පදිංචි කළසේක. එදා ජේසුතුමාගේ මෙන් අද සමාජයේ ඇතැම් අයගේ ජිවිත දුක් වේදනාවෙන් විරූපවී ඇත. ඒ දුක්විඳින ජනතාවට සෙත සැළසීමට වෙරෝනිකා ගේ ආදර්ශය ගෙන.  සේවය, කැපවීම ලබාදීමට අපි ඉදිරිපත් වෙමු.

මාගේ අමෘතබරවූ ජේසුනි! එදා සමාජයේ බිය, සැක මැඩගෙන ඔබවහන්සේගේ විරූපී ශ්‍රී වත මණ්ඩලය පිස දැමීමට ඉදිරිපත්වූ වෙරෝනිකා නමැති එඩිතර කාන්තාවගේ ක්‍රියාව ඔබවහන්සේ අගය කළ සේක් වේද? අප සමාජයේ දුක් කරදර, කම්කටොළු නමැති විරූප භාවයෙන් පෙලෙන අසරණ ජනතාවට ඔබවහන්සේගේ නාමයෙන් සේවයක් කිරීමට අපට වරම් දුන මැනව. ආමෙන්.

ප : ස්වාමිනි, සමාජසේවයේ යෙදෙන්නන් ආසිරි ගැන්වුව මැනව.

උ : ඔවුන් දිරිමත්කර රැකබලා ගත මැනව. ආමෙන්.

7 වෙනි ස්ථානය

ජේසු ස්වාමිදරුවෝ කුරුසියේ බරෙන් දෙවෙනි වරට බිම වැටෙන සේක.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
      සීමොන් සිරනේවුස්ගේ සහය ඇතිව වුවද කුරුසිය ගෙන පා තබන ජේසු තුමාට ඉදිරියට තවත් පා නැගිය නොහැකි තරම්ය. එතුමා කුරුස බරෙන් නැවතත් බිම වැටී ඇත. දුක්බර ලීලාවෙන් අප වෙත බලන උන්වහන්සේ නිහඬව  අපට කියා සිටින්නේ, අපගේ  පාපයන්ට උන්වහන්සේ වන්දි  ගෙවන  බවයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට දී තිබෙන සම්පත් මඟින් උන්වහන්සේ වෙතට   ඇඳී එනවා වෙනුවට මනුෂ්‍යයා ඒ සම්පත් දේවත්වයේ තබා  දෙවියන් සුළු කොට සැලකීමේ පාපයේ යෙදෙන බවයි. ධනය, වස්තුව, ගේ දොර ඉඩකඩම් අපට අවශ්‍ය බව සැබෑය. මේවා අක්‍රම ලෙස  බදා ගෙන සිටීම ගුණමකු කමකි. මේ සම්පත් නැති බැරි ඇය සමඟ බෙදා හදා ගනිමින් සමාජය තුළ ජීවත්වීමට උන්වහන්සේ අප කැඳවන සේක.

මාගේ අමෘතබරවූ ජේසුනි! කුරුසියේ බරින් දෙවැනි වරටත් පොළොව මත ඇඳ වැටුණා වූ ඔබ වහන්සේ මිනිසාගේ අක්‍රමවත් තන්හාවලට මේ මාර්ගයෙන් වන්දි ගෙවන සේක් වේද ඔබවහන්සේ ගේ යහපත් කමින් ඔබගේ ජනතාවට සෙත සැළසීමටත් එමඟින් ස්වර්ගීය සම්පත් අත් කර ගැනීමටත් ඔබවහන්සේගේ වරප්‍රසාද අපට දුන මැනව. ආමෙන්.

ප : ස්වාමිණි, පාපිවූ අපට කරුණාකර වදාළ මැනව.

උ : අපට කරුණාකර වදාළ මැනව. ආමෙන් 

8 වෙනි ස්ථානය 

ජේසු ස්වාමිදරුවෝ ජෙරුසලෙම් ස්ත්‍රීන් සනසා වදාරණ සේක.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
     ජේසු තුමන්ගේ ආදරයත්, උන්වහන්සේ සිදු කල ප්‍රාතිහාර්යන්ගේ බලමහිමයත් ඇසු දුටු ජනතාව විශේෂ කොට කාන්තා පක්ෂය  උන්වහන්සේගේ මේ   ඛේදවාචකය දැක අඬාවැලපෙමින් උන්වහන්සේ පසු පස ගමන් කලහ. මේ දුක්බර මොහොතේදී වුවද අන්‍යයන්ගේ  අනුකම්පාව උන්වහන්සේ වෙතට   හරවා ගැනීම වෙනුවට මේ කුරුසියේ ගමනේ හේතුව උන්වහන්සේ ඔවුන්ට පැහැදිළි කළ සේක.

සාමය, සතුට , දයාව ලඟාකර ගැනීමට පව්බර අවස්ථාවලින් වැලකී දේවගුණයෙන් ජිවත්වීමට අප සැමට අනුශාසනා කරණ සේක.

මාගේ අමෘතභරවූ ජේසුනි! ජනතාවගේ අනුකම්පාව ඔබ වෙත නැඹුරු වූ අවස්ථාවේදී මා වෙනුවෙන් නොව ඔබ හා ඔබගේම දරුවන් වෙනුවෙන් වැළපෙන්නැයි ඔවුන්ට වදාළ සේක්වේද, මෙම හේතුවෙන් අප ජිවිතයේ සිදුවූ සියළුම වැරදි ගැන මනස්ථාප වීමටද පවින් මිදි සැමවිටම දැහැමි ජිවිතයක් ගත කිරීමටද අපට ඔබවහන්සේගේ ආලෝකය දුන මැනව. ආමෙන්.

ප : ස්වාමිණි, අනුකම්පා සිතින් ක්‍රියා කිරීමට අප දිරි ගැන්වුව මැනව.

උ : ඔබගේ අනුකම්පාව නිතර අප කෙරෙහි දැල් වුව මැනව. ආමෙන්.

9 වෙනි ස්ථානය

ජේසු ස්වාමිදරුවෝ කුරුසියේ බරෙන් තුන්වෙනි වරට බිම වැටෙන සේක.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
      සිත කැමතිය, එහෙත් කය දුබලය. මාංශික තෘෂ්ණාවන්ට රැවටී, පාපයේ ඇලී ගැලී එම නිසාම සියළු දේව පණත් කඩකරමින් ජිවත්වන අප වෙත උන්වහන්සේ මෙලෙස  තුන්වැනිවරටත් බිම වැටි සිට ආයාචනයක් කරණ සේක. “දරුව! මා දෙස බලන්න. මේ බරවූ කුරුසිය රැගෙන වැටි වැටී මම කල්වාරියට පා තබන්නේ ඔබේ සියලු පාපයන්ට වන්දි  ගෙවීම පිණිසය. පාපයේ ඇලී ගැලී ව්‍යාජ සුවයක් ලබන ඔබට මා ගැන අනුකම්පාවක් නැද්ද? ඔබ ගමන් කරන අගාධ ප්‍රපාතය ගැන ඔබට වැටහීමක් නැද්ද? ඔබේ විනාශය අත ලඟ බව ඔබට නොවැටහෙන්නේද?

මේ දුක්  ප්‍රාප්තිය මඟින් මම ඔබට සමාව දෙමි. මගේ ආදරය ඔබ පසු පස එයි. එබැවින් ඔබේ පාපතර ජිවිතයෙන් නැගිටින්න. එඩිතර වන්න.

පෙම්බර ජේසුනි, ඔබගේ ආදර කැඳවීම මම පිළිගනිමින් මාගේ ක්ලේශයන්ට වහල් නොවී ඔබගේ දේව ගුණයෙන් පෝෂණය වී, දැහැමි දිවියක් ගත කිරීමට පොරොන්දු වෙමි. ආමෙන්.

ප : ස්වාමිනි, පාපක්ලේෂයන් දමනය කිරීමට ශක්තිය දුන මැනව.

උ : ඔබගේ ශක්තිය අප වෙත පතිත කළ මැනව. ආමෙන්.

10 වෙනි ස්ථානය 

ජුදයෝ ජේසු ස්වාමිදරුවන්ගේ වස්ත්‍ර කඩා දමති.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
     සැම සෙත, සැමහට සලසාදුන් දෙවිපුතණුවෝ අද මරුගෙන දෙන ගිරිමුදුනේ තනිවී, හිස්වී සිටිති. උන්වහන්සේ ඇඳ සිටි වස්ත්‍රය ඉවත් කරන ලදී. ලජ්ජාවෙන්, කෝලයෙන්, වේදනාවෙන් සිටින ජේසුතුමා අපි දර්ශනය කරමු. මිනිසාගේ කායික නිර්වස්ත්‍රතාවයට  වඩා ආත්මික නිර්වස්ත්‍රතාවය   සඳහා උන්වහන්සේ වන්දි  ගෙවන  සේක. යහපත සළසන දෙයට වඩා මෙලෝ වස්තුන් බදාගෙන දෙවියන් අමතක කරණා සමාජයක අපි ජිවත් වෙමු. ප්‍රසාද ස්නාපනයේදී  දෙවියන්වහන්සේ දුන්   ඉෂ්ඨ වරප්‍රසාදයද, ඊට පසු ලැබූ සියළුම වරප්‍රසාදයන්ගෙන්ද අද  මිනිසා බැහැර වී සිටී. ලෞකික දෙයින් හිස්වී ආත්මික දායාදයන්ගෙන් පිරී සිටින ලෙස අප නිසා නිර්වස්ත්‍රව වැඩ  සිටින දෙවිසමිඳාණෝ අපට ආමන්ත්‍රණය කරන සේක.

ආදර සමිඳුනි, පාරිශුඬභාවයේ මූර්තිය වන ඔබ වහන්සේ පිරිසිදු පැවැත්මෙන්, පාපයෙන් තොර ශ්‍රේෂ්ඨ ජිවිතයක් ගත කිරීමට පිහිට වුව මැනව. ආමෙන්.

ප : ස්වාමිනි, මිනිස් සිත දුෂණය කරන සෑම බලවේගයන්ගෙන්ම අප ආරක්ෂා කල මැනව.

උ : ඔබගේ අණපනත් කෙරෙහි අප සිත් යොමු කල මැනව. ආමෙන්.

11 වෙනි ස්ථානය

ජේසු ස්වාමිදරුවෝ කුරුසියේ ඇණ ගසනු ලබන සේක.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
      ජේසුතුමාව කුරුසියේ ඇණ ගැසීමට දැන් සොල්දාදුවෝ සූදානම් වෙති. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ සියලුම තුවාලයන් අළුත් කරවමින් වස්ත්‍ර කඩා   දමා ඇත. නිරුවතින් කුරුසිය පිට බාවා මහ ගොරෝසු ඇණ තුනකින් උන්වහන්සේව  කුරුසියට සවි කරති. ඒ හැම තද මිටි පහරකින්ම උන්වහන්සේ ගේ අත් පාවලට වැදී ලේ විසිරී ගියද එම මිටි පහර වැදිය යුත්තේ අපගේ   හදතුලටය. මේ හේතුවෙන් අප තද සිත් මොළොක්වී පාපයන්ගෙන් හිස් වී දේව ගුණධර්මයන්ගෙන් අපි  උන්වහන්සේගේ කුරුසියට බැඳෙමු.

පෙම්බර ජේසුනි, ගොරෝසු ඇණ තුනකින් කුරුසියට සවි වී ලොව මිදීමේ යාගය පුද කිරීමට සූදානම් වන ඔබවහන්සේ මා ගැන අනුකම්පා කළ මැනව. මාගේ පාපයන්ට වන්දි ගෙවීම සඳහා ඔබවහන්සේගේ යාගයට මා ද හවුල් කරගත මැනව.
ආමෙන්.

ප : ස්වාමිණි, ඔබගේ යාගයට අපවද ලඟාකර ගත මැනව.

උ : යාගික ජිවිතයේ උතුම් කම පහදා දුන මැනව. ආමෙන්

12 වෙනි ස්ථානය

ජේසු ස්වාමිදරුවෝ කුරුසියේ උකුත්වන සේක.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
     දේවරාජ්‍යය කියාදීමට, එය ප්‍රකාශ කිරීමට ජේසුතුමා තම වචනයෙන්ද, ක්‍රියාවන්ගෙන්ද, ප්‍රතිභාර්යන්ගෙන්ද ක්‍රියා කළ සේක. එහෙත් මේ සියල්ල අසා සිටි, බලා සිටි සැමට මේ කුරුසියේ මරණයෙන් පෙනී ගීයේ සියල්ල අසාර්ථක වූ බවයි. උන්වහන්සේට  විරුද්ධව ක්‍රියා කළ සියළු දෙනාම සතුටු වූහ. ජය පැන් පානය කළහ.

එහෙත් අපරාජිත ජෙසුතුමෝ මේ කල්වාරියේ මේ කුරුසිය තම රාජාසනය කර ගනිමින්, මේ තාක් උන්වහන්සේ කළ ශ්‍රේෂ්ඨතම දේශනය වාග් හතකින් නිමකල සේක. අප ජිවිත තුල සදා පැවතිය යුතු නිතර මෙනෙහි කල යුතු ප්‍රේමයේ පිපාසය ප්‍රකාශ කල සේක.

මේ වාග් සත ප්‍රකාශ කළ උන්වහන්සේ විරාජ මානව තම ජීවිතය මිනිස් සංහතියේ මිදීම නිසා පුද කරමින් උකුත් වූ සේක.

ආදර පියාණනි, මිනිස් සංහතියේ මිදීම උදෙසා ඔබ පුතණුව නුන් බිලි පඬුරක් වීමට සැලසීම ගැන ඔබවහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. මෙම යාගයේ මහිමයෙන් ඔබ ශුභාරංචිය ලොව සැම තැන පැතිර වීමට කරුණා කල මැනව. ආමෙන්.

ප : ස්වාමිනි, දුබලවූ අපට දයා වුව මැනව. ඔබගේ සමාව අපට දානය කල මැනව. ආමෙන්.

13 වන ස්ථානය 

ජේසු ස්වාමිදරුවෝ කුරුසයෙන් බාන ලදුව තමන්වහන්සේගේ පිරිසිඳු මෑණියන්ගේ උකුලෙහි පුනවනු ලබන සේක.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
     බෙත්ලෙහෙමේ,   ගවමඩුවේදී ඒ මොළකැටි බිළිඳු අතට ගත් දේව අම්මා එදා සිට තිස්තුන් වසරක් මේ පුතණුවන් සමග ජිවත් වූවාය. එහෙත් අද ලෝකයේ සියළුම කුරිරුකම් එකතු කර, අමානුෂික ලෙස අමු අමුවේ මරා දමන ලද තම පුතණුවන්ගේ මළ සිරුර බදාගෙන දේව අම්මා වික්ෂෝපයෙන්   සිත පැළි පොඩිවී සිටියි.

එහෙත් සිය පුතණුවන්ගේ ජීවිතය යාගයක් නොවන්නට මිනිස් සංහතියටම ගැලවීමක් නොමැති බැව් දන්නා දේව අම්මා මේ දුක දරා ගන්නීය. කුරුසිය පාමුල සිට මේ යාගය පුදකල මේ දේව අම්මා ලෝක ජනතාවගේ පෙම්බර මව් ලෙස ඔබවත්,  මාවත් භාරගත්තාය, එබැවින් කිසිදිනක එතුමියගේ හදට මින්පසු වේදනාවක් නොදෙන්නට අප සැම එතුමියගේ ආදර දරුකැළ ලෙස ජිවත් වීමට අදිෂ්ඨනය කර ගනිමු.

වික්ෂෝපයෙන් පිරී සිටින පෙම්බර මෑණියනි. මෙලොව වසන සැමදෙනාටම සෙත සැලසීමට, විමුක්තිය දානය කිරීමට ඔබ පුතණුවන් පිදූ යාගයට හවුල්කාරියක්වූ සේක් වේද? එබැවින් ඔබ පුතණුවන් නමින් දරුකමට භාරගත් අප සැම දෙනට ඔබ මාතෘක සෙවනේ මෙලොව ජීවිතය යහපත් ලෙස පසුකර සදා ජීවිතය අත්කර ගැනීමේ වරම අපට දානය කල මැනව. ආමෙන්.

ප : නමෝ මරිය.

14 වෙනි ස්ථානය

ජේසු ස්වාමිදරුවෝ ගල්ලෙනෙහි තැන්පත් කරනු ලබන සේක.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

භාවනාව :
     උපත ලැබූ සැමගේ ඉරණම විපතය; ඊට පසු දේහය මිහිදන් කිරීමය, අවමංගල්‍යයකට සහභාගීවූ සැමගේ සිත මෙවන් අවස්ථාවල දී   දෙදුරුම්කයි. ජීවිතය මෙයද කියාත් පැනයක් නැගෙයි. අපට මතුජීවිතයක බලාපොරොත්තුවක් නොතිබුණා නම් සැබවින්ම එම සිතුවිල්ල සාධාරණය.

එහෙත් සියළු අවමංගල්‍යයන්ට වඩා ජේසුතුමාගේ දේහය මිහිදන් කිරීම විශේෂ වන්නේ අප සැමගේ බලාපොරොත්තු ඉටුවන නිසාය. ගල්ලෙනට ඇතුළුවූයේ මළකඳක් පමණක් නොව උත්ථානවීමේ බලය ඇති ලෝ මිදුම්කරුවාණෝය.

ලොවට විමුක්ති සැලසීමට, අනන්ත ජිවිතයේ උතුම්කම පහදා දීමට උන්වහන්සේ තුන්වන දින අභිමානවත් ලෙස මරණය පරාජය කර උත්තනාවූ සේක. මෙන්න අපේ බලාපොරොත්තුව, මෙන්න අපේ ජයග්‍රහණය.

මරණය පරාජය කර උදාර ලෙස උත්ථානවූ ජේසු සමිඳුනි, ඔබගේ දේව ශක්තියෙන් අපගේ අප්‍රමාණික ජිවිත ප්‍රානවත් කර, ඔබ පහදා දුන් උදාර ගුණයන්ගෙන් අප ජිවිත දීප්තිමත් කර නියම කිතුණුවන් ලෙස ජීවත්වීමේ වරය අපට දානය කළ මැනව.

ප : ස්වාමිණි, උදාර ලෙස අප ජිවිත ජිවත් කිරීමේ වරය අපට දුන මැනව.

උ : ස්වාමිණි, ඔබ උත්ථානය මගින් අප ප්‍රබෝධමත් කල මැනව. ආමෙන්.

15 වෙනි ස්ථානය

ජේසු ස්වාමිදරුවෝ මළවුන්ගේ උත්ථානවි මොක්ෂයේ දෙවියන්වහන්සේගේ දකුණු පස වැඩ සිටින සේක.

පදය : ක්‍රිස්තුනි ඔබට නමස්කාරකර ස්තුති ප්‍රශංසා කරමු.

උත්තරය : මක්නිසාදයත් ඔබගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක.

භාවනාව :
    ක්‍රිස්තියානි ධර්මයේ මූලික සත්‍යය ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් අභිමානවත් ලෙස උත්ථාන වීමයි. ගෝලයන්ද ක්‍රිස්තුන්වහන්සේ හරිහැටි දැන ගත්තෙත්, උන්වහන්සේගේ වචනය නිසි ලෙස තේරුම් ගත්තේද, මේ   සිද්ධිය තුළින්ය. මෙම අභිමානවත් සිද්ධිය සිහිපත් කරණ අප විශ්වාසයේ ඇසින් අපි උන්වහන්සේ දර්ශනය කරවූ දිව්‍ය සත්ප්‍රසාදය   තුළ උන්වහන්සේට  ඒකාබද්ධ වෙමු.

එබැවින් ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි අප්‍රානික කිතුණුවන් ලෙස නොව, ප්‍රාණවත් එඩිතර කිතුණුවන් ලෙස සමාජයට ලුණු වීමටද, ලෝකයට ආලෝකයක් වීමටද තරයේ සිතට ගනිමු.

ස්වාමිනි, ඔබගේ උත්ථානයේ ජයග්‍රහණයෙන් අප සිත් ප්‍රබෝධමත් කල මැනව. ඔබව අප තුලින් අන්‍යයන්ට පිලිගැන්වීමට සැලැස්සුව මැනව. එවැනි උදාර ජිවිතයක් ගත කිරීමට ඔබගේ ශක්තිය අපට දුන මැනව. ආමෙන්.

ප : ක්‍රිස්තුවහන්සේ මලනුන්ගෙන් උත්ථානවූ සේක. ආලේලුයා.

උ : අප සමගද ජීවමානව වැඩ සිටින සේක.ආලේලුයා, ආලේලුයා.

අමෘතබරවූ ජේසුතුමන්ගේ ශ්‍රී මරණයෙහි යාච්ඤාව

මල්උයනේදී අත්‍යාධික දුකින් සිටියාවූ, අනාදි පිතාවන දෙවියන්ට යාච්ඤා කළාවූ. මරණය ලබන තෙක් දුක් අනුභව කළාවූ, ලේ ඩහදිය සිඳ හෙළනු ලැබුවාවූ ජේසුනි! ස්වාමිනි! අපට කරුණා කළ මැනව – අපට කරුණා කළමැනව.

සිපාචාරකළ දේව ද්‍රෝහියා විසින් ජුදයින් අත පාවාදෙනු ලැබුවාවූ, සොරෙක් මෙන් යකඩ දම්වැල් හා ලනුවලින් බඳිනු ලැබුවාවූ, ගෝලයින් විසින් අත්හැර දමනු ලැබුවාවූ ජේසුනි! ස්වාමිනි! අපට කරුණාකළ මැනව – අපට කරුණා කළ මැනව.

ජුදයින්ගේ අනීති විභාගයෙන් මරණයට තීන්දු කරනු ලැබුවාවු, පිලාත්තු ඉදිරියෙහි සොරෙක්මෙන් ගෙනයනු ලැබුවාවු, හෙරෝද් රජුගෙන් නින්දා පරුෂ වින්දවු ජේසුනි! ස්වාමිනි! අපට කරුණාකළ මැනව – අපට කරුණා කළ මැනව 

වස්ත්‍රාභරණ ගලවනු ලැබුවාවු, ගල් කනුවේ බැඳුම් කෑවැවු, ඉතා නෙස්ඪුරකමින් තැළුෑ පහරවල් ඉවසුවාවු ජේසුනි! ස්වාමිනි! අපට කරුණාකළ මැනව – අපට කරුණාකළ මැනව.

කටු ඔටුන්න පළඳවනු ලැබුවාවු, කම්මුලට අතින්ද, ශ්‍රී සිරසට බට දණ්ඩකින්ද, පහර ලැබුවාවු, ශ්‍රී වතමණ්ඩල මැලවෙනු ලැබුවාවු, ලෝම රතු වස්ත්‍රයක් පොරවා නින්දා කවටකම් කරනු ලැබුවාවු, නොයෙක් අවමාන්න වින්දාවු නිමක් නැති පරුෂ වචනවලින් බැණුම් ඇසුවාවු , ජේසුනි! ස්වාමිනි ! අපට කරුණාකළ මැනව – අපට කරුණා කළ මැනව.

බරබාස් යන සොරාටත් වඩා නීච කරනු ලැබුවාවු, ජුදයින්ගෙනුත් ඉවත් කරනු ලැබුවාවු, කුරුසයෙහි ඇණගසනු පිණිස අනීති නඩු තීන්දුවට අසුවුණාවු ජේසුනි! ස්වාමිනි! අපට කරුණා කළ මැනව – අපට කරුණා කළ මැනව.

අතී බරවූ කුරුසය ඉසුලුවාවු, බැටළුවෙකු වෙන් මරණයට ගෙනගියාවු පටු පාරේ මුණින් තලා වැටුණාවු ජේසුනි! ස්වාමිනි! අපට කරුණා කළ මැනව – අපට කරුණා කළ මැනව.

සොරුන් අතරෙහි මිනීමරු සොරෙක් මෙන් ගණන්ගත්තාවු, ඉතා පරුෂ කරනු ලැබුවාවු, ජුදයින් විසින් අසාධාරණය කරනු ලැබුවාවු, තිත්ත සහ ඇඹුල් මුසු කාඩිය බිවාවු, එක් ජාමයක් ඇතුළතදී ඉතා නෙස්ඪුර වද ගාඩිනාවලට අසුවුණාවු ජේසුනි! ස්වාමිනි! අපට කරුණාකළ මැනව – අපට කරුණා කළ මැනව.

වස්ත්‍රාභරණ ගලවනු ලැබුවාවු, කුරුසය නම්වු ආසනයේ වැඩසිටියාවු, ශ්‍රී හස්ත පාද ඇණ තුනකින් ඇණගැසුම් කෑවාවු, කුරුසයෙන් බා ශරීරය තැන්පත් කරනු ලැබුවාවු ජේසුනි! ස්වාමිනි! අපට කරුණා කළ මැනව – අපට කරුණා කළ මැනව.

කුරුස ගසේදී ප්‍රාණය පුදකළාවු, ඔබගේ ශුඬවු මව් ඉදිරියෙහි ඔබගේ ශ්‍රී ළය මණ්ඩලයට ඇනුම්කෑවාවු, ශ්‍රී රුධිරයත් වතුරත් සිඳහෙළුවාවු, ජේසුනි! ස්වාමිනි! අපට කරුණා කළ මැනව – අපට කරුණා කළ මැනව.

කුරුසයෙන් බස්වනු ලැබුවාවු, ඔබගේ වික්ෂෝප මෑණියන්ගේ කඳුලෙන් තෙමුනාවු  ජේසුනි! ස්වාමිනි! අපට කරුණා කළ මැනව – අපට කරුණා කළ මැනව.

ගණන් නැති වණකැලල් ඇතිවුණා වු, ඉතා කාඪුර වණ පසක් දරාගත්තාවු, සුගන්ධ තෛලයෙන් ආලේපකර අලුත් ගල්ලෙනක තැන්පත් කරනු ලැබුවාවු, ජේසුනි! ස්වාමිනි! අපට කරුණා කළ මැනව – අපට කරුණා කළ මැනව.

කයදුෂ්කාර ප්‍රාර්ථනාව

  1. සර්වදයාබරවු ජේසුනි, පාපිවු අපට දයාවෙනවා සොඳේ දයාවෙනවා සොඳේ ස්වාමි දයාවෙනවා සොඳේ.
  2. අප නීච මනුෂ්‍යයන්ට කරුණා කර, නීච මනුෂ්‍යයා කයදරා පොලොවේ උපන්නේ; මගේ දයාබරවු ජේසුනි-දයා වෙනවා සොඳේ ස්වාමි! දයාවෙනවා සොඳේ.
  3. ඉගැන්වූ ගෝලයා සදිකරමින් ගැතිවූ ජුදයෝ සතුරුවෙමින්, දිව්‍යා කැමැත්තෙන් දුක්විඳීන්ට පමුණුනේ; මගේ දයාබරවු ජේසුනි – දයාවෙනවා සොඳේ ස්වාමි! දයාවෙනවා සොඳේ
  4. අපරාධ අයමෙන් සිරවෙමින්, ශ්‍රී හස්තවලෙහි බැමි ලවාගනිමින් බැටළු පැටවෙකුමෙන් බිල්ලට වැඩියේ: මගේ දැයාබරවු ජේසුනි – දයාවෙනවා සොඳේ ස්වාමි! දයාවෙනවා සොඳේ.
  5. අනඩු ගුරුසභාවට යටහත් වෙමින්, බොරු සාක්ෂි වැරදි අසමින්, දේව අපරාධ කාරයායයි කියන ලද්දේ , මගේ දයාබරවු ජේසුනි – දයාවෙනවා සොඳේ ස්වාමි! දයාවෙනවා සොඳේ.
  6. ශ්‍රීවත මඬල පහර ගසමින්, ශ්‍රී නේත්‍ර රෙදි වසමින්, වදපරුෂ කරන ලද්දේ, මගේ දයාබරවු ජේසුනි – දයාවෙනවා සොඳේ ස්වාමි! දයාවනෙවා සොඳේ.
  7. පිලාත් රජුගේ නඩුවට පැමිණෙමින් ගල් කණුවේ බැදුම්කමින් ලේසාගර කොට කසපහරවල් වින්දේ; මගේ දයාබරවු ජේසුනි – දයාවෙනවා සොඳේ ස්වාමි! දයාවෙනවා සොඳේ.
  8. ශ්‍රී සිරසේ කටුඔටුන්න දරා, රතු ජගලාත්තුව ඇඟ පොරවා, කවට රජෙක් මෙන් වද පරුෂ කරන ලද්දේ; මගේ දයාබරවු ජේසුනි – දයාවෙනවා සොඳේ ස්වාමි! දයාවෙනවා සොඳේ. 
  9. බරවු කුරුසේ කරතබමින්, උස්සවු කපාල සෙල් නඟිමින්, වසක්කේඩුවෙන් වැටුණේ; මගේ දයාබර ජේසුනි ! දයාවෙනවා සොඳේ ස්වාමි ! දයා වෙනවා සොඳේ.
  10. ශ්‍රී මේල සළුගලවා, සර්වාංග ලේ වණ පහදවා. දිව්‍ය රූපගත නිර්වස්ත්‍රව වැඩ උන්නේ; මගේ දයාබරවු ජේසුනි – දයාවෙනවා සොඳේ ස්වාමි! දයා වෙනවා සොඳේ.
  11. කුරුසේ පිට බාවමින්, ශ්‍රී හස්ත පාද ඇණ ගසමින්, සර්වාංගවදයෙන් සොරුන් මැද සිටුවන ලද්දේ: මගේ දයාබරවු ජේසුනි – දයාවෙන්වා සොඳේ ස්වාමි! දයාවෙනවා සොඳේ.
  12. කුරුසේ ඉඳ උපදෙස් වදාරා. සතුරන්ට ක්ෂමාව් වදාරා, සියල්ලන්ට දයා පෑ වදාළේ ; මගේ දයාබරවු ජේසුනි – දයාවෙනවා සොඳේ ස්වාමි ! දයා වෙනවා සොඳේ.
  13. එතෙක්කොට සියලු සික්ශා විඳලා, නිමක් කොට සියලු යහපත්කම් පාලා, මරණාසන්නවුණේ ; මගේ දයාබරවු ජේසුනි – දයාවෙනවා සොඳේ ස්වාමි! දයාවෙනවා සොඳේ.
  14. දිව්‍යා මුහුණ කමල මැලිවෙමින්, දිව්‍යා නේත්‍ර වසා හෙළමින්, දිව්‍යා සිරස නමා වැටෙමින් උකුත්වුණේ ; මගේ දයාබරවු ජේසුනි –  දයාවෙනවා සොඳේ ස්වාමි! දයාවෙනවා සොඳේ.
  15. මා නිසා මේ සියලු දුක්විඳ, මාගේ පව් නිසා අච්චු විඳ, මාගේ ප්‍රාණය නිසා ප්‍රාණය දුන්නේ; මගේ   දයාබරවු ජේසුනි – දයාවෙනවා සොඳේ ස්වාමි ! දයා වෙනවා සොඳේ.
  16. ඔබ කළ මේ සියලු උපකාර මම නොබලා, මා නිසා විඳපු දුක් සිහිනොකර ඔබට අනදර අපරාධ කෙළෙම්වේද?; මට දයාවෙනවා සොඳේ ස්වාමි ! දයාවෙනවා සොඳේ. 
  17. මෙබඳු අපරාධකල මගේ සිත දුකින් තැවී මනස්තාපයෙන් පැළි පොඩිවී, ඇසින් කඳුලු ධාරා කොට අඬා ඉන්නා මට දයාවෙනවා සොඳේ දයා වෙනවා සොඳේ ස්වාමි! දයාවෙනවා සොඳේ.
  18. මාගේ දුෂ්ටකමුත් අලසකමුත් නොබලා, ඔබගේ යහපත් කමුත් දයාබර කමුත් බලා; මට ක්ෂමා වෙනවා සොඳේ ස්වාමි! ක්ෂමා වෙනවා සොඳේ.
  19. අනදර දරුවයි මා නොබලා, දයා වනත් පියානොයි ඔබ බලා, මාගේ සියලු පව් ක්ෂමාවෙනවා සොඳේ ස්වාමි ! ක්ෂමා වෙනවා සොඳේ.
  20. ඔබගේ කසපහරවල් හා කටුඔටුන්න උදෙසා; ක්ෂමාවෙනවා සොඳේ ස්වාමි ! ක්ෂමාවෙනවා සොඳේ.
  21. ඔබගේ සර්වාංග වණවල් හා ලේ ධාරාවල් උදෙසා; ක්ෂමාවෙනවා සොඳේ ස්වාමි! ක්ෂමාවෙනවා සොඳේ.
  22. ඔබගේ කුරුසය හා මරණය උදෙසා; ක්ෂමා වෙනවා සොඳේ ස්වාමි! ක්ෂමාවෙනවා සොඳේ. 

ශ්‍රී ගල්ලෙනේ යාච්ඤාව

අහෝ වන්දනීයවූ ස්වාමි දරුවාණනි, අප පව් උදෙසා කුරුසිය නමැති එල්ලුම් ගසෙහි වැඩ සිටින ගැළවුම්කාරයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි ඔබගේ සිතුවිලි තුළ මා තබා ගත මැනව.

 අහෝ ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී කුරුසියෙනි සියලු විනාශකාරී අවි ආයුධවලින් වන අනතුරු මා කෙරෙන් පහකළ මැනව.

අහෝ ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී කුරුසියෙනි, සියලු නපුරෙන් මා ඉවත් කළ මැනව.

අහෝ ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී කුරුසියෙනි, මගේ සියලු සතුරන්ගෙන් මා රැකගත මැනව.

අහෝ ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී කුරුසියෙනි අනතුරු දායක මරණය මා කෙරෙන් ඉවත් කොට මට නිතර ජිවිත දානය කළ මැනව.

මට මගේ කුරුස ඉවසීමෙන් යුතුව ගෙන යාමට මගේ වද වේදනා කෙඳිරිමෙන් තොරවද විඳ දරා ගැනීමටද සියලු අනිවර්ත මරණයන්ගෙන්ද මා දැනුත් නිතිපතත් ගළවා ගත මැනව.

අහෝ කුරුසියේ ඇන ගසන ලද නාසරෙත්හි ජේසුනි, දැන් සහ සදාකාලයටම මට දයා වුව මැනව.

ජේසු ක්‍රිස්තුනි, මට කරුණා කළ මැනව. මරියතුමියනි, ශුඬවු ජුසේ මුනිඳුනි මා නිසා යාච්ඤා කළ මැනව. ආමෙන්.

පරමණ්ඩලය නමෝ මරිය හා ත්‍රීත්ව ස්ත්‍රෝත්‍ර එකක් කියන්න. 

  1.  ආ උතුම්වූ මේ අභිරහස දෝත් මුදුන් දී වඳිමු බැහැර වේ පුරාණ තේවා දැන් පිදේ පිදුම් අමා දුබලවු ඉඳුරන්ට පිහිට වේ විශ්වාසය
  2. දෙව් පියාට දෙව් පුතුන්ට වේ පසස් මගුල් ගොසා වන්දනා ගරු විකුම්ද ආසිරි සිරිත් වේවා මේ තුමන් කෙරෙන් නිකුම්වූ සා වැනුම් සුදත්මටා – ආමෙන්.

ප්‍ර : ඔබවහන්සේ ස්වර්ගයෙන් පූපය ඔවුන්ට දෙවා වදාළ සේක. (අල්ලේළුයා)

උ : සෑම ප්‍රබෝධයම එහි අඩංගුවී ඇත්තේය. (අල්ලේළුයා)

යාච්ඤා කරම්හ

තමන් වහන්සේගේ දුක් විඳීමේ සිහිවීමක් මේ ආශ්චර්යමත් ප්‍රසාද නිධානයෙහි අපට දුන්නාවූ දෙවියනි, ඔබ වහන්සේගේ ගැලවීමේ ඵල අප තුළ නිතර විද්‍යමාන වන ලෙස ඔබගේ ශරීර රුධිරාභීරහස්‍යයට ගෞරව කිරීමට වරම් දෙනමෙන් අයදිම්හ. මෙකීදේ සතත කල්හි වැඩ සිටින ඔබගෙන්ම අපට ලැබේවා. ආමෙන් 

දේව ප්‍රශංසා 

දෙවියන් වහන්සේ / අශිර්වාදිත වේවා!
උන්වහන්සේගේ ශ්‍රී නාමය / ආශීර්වාද වේවා!
සැබෑවූ දෙවියන් වහන්සේද, සැබෑවූ මනුෂ්‍යායාද වෙන ජේසු ක්‍රිස්තු ස්වාමි දරුවෝ / අශිර්වාදිත වේවා !
ජේසු ස්වාමිදරුවන්ගේ ශ්‍රී නාමය / ආශීර්වාදිත වේවා!
උන්වහන්සේගේ ශ්‍රී හෘදය /  ආශීර්වාද වේවා!
උන්වහන්සේගේ අමිලවූ ශ්‍රී රුධිරය / අශිර්වාදිත වේවා!
පූජාසනයෙහි දේවප්‍රසාද නිධානයෙහි ජේසු ස්වාමිදරුවෝ / ආශීර්වාදිත වේවා!
සැනසිලි දයකයාණන්වූ ස්ප්‍රීතු සාන්තු වහන්සේ / ආශීර්වාදිත වේවා!
උත්තම දේවමාතාවු අති ශුඬවූ මරිය වහන්සේ / අශිර්වාදිත වේවා!
උන්වහන්සේගේ නිර්මල පිළිසිඳීම / ආශීර්වාදිත වේවා!
උන්වහන්සේගේ ප්‍රතාපවත් ස්වර්ගාරෝපනය / ආශීර්වාදිත වේවා!
කන්‍ය මාතාවන්ගේ මරිය යන ශ්‍රී නාමය / ආශීර්වාදිත වේවා!
උන්වහන්සේගේ වුතශුඬවත් පතිවූ ශු: ජුසේ තුමා / ආශීර්වාදිත වේවා!
දෙවියන් වහන්සේ තමන් දුතයන් හා ශුඬවන්තයන් කෙරෙහි / ආශීර්වාදිත වේවා!

කායික රෝගීන්ට ඖෂධයන්ගෙන් සුවයක් ලැබෙන්නාසේම ආත්මික රෝගීන්ට පාපොච්චාරනය නමැති ඖෂධයෙන් සුවය ලබා ගැනීමේ අවස්ථාව දේව දරුවන්වු අප ලද මහඟු භාග්‍යයකි.

යමෙක් රෝගිවුවිට ඖෂධ ගැනීමෙන් සුවවන්නාසේම ආත්මික රෝගයන්ගෙන් පෙලෙනවිට පාපොච්චාරනය නමැති ඖෂධයෙන් සුවය ලභාගැනීමේ අවස්ථාව අප ලද භාග්‍යයකි.

  1. පාපොච්චාරණයට සූදානම්වීම.

පළමු කොට තම පව් පැහැදිලිව මතක්කර ගැනීම සඳහා ස්ප්‍රීතු සාන්තු වහන්සේගේ පිහිටාලෝකය ඉල්ලා ගන්න.

දේව පණත් හෝ ශුඬවූ සභාවේ පණත් වලට අකීකරු වීමෙන් හා ප්‍රේමයට පටහැනි වීමෙන් පව් සිදුවන හෙයින් එක එක පණත ගැන විමසා බලන්න.

තවද ක්‍රියාවෙන් පමණක් නොව සිතින්ද වචනයෙන්ද පව් කිරීමට ඉඩතිබෙන බව අමතක නොකරන්න.

බොහෝ විට පාපය බරපතලද සුළුද කියා තීරණය කළ හැක්කේ, හේතුව හෝ අවස්ථාව ගැන විස්තර දෙන විට පමණයි. ඒ නිසා අවංක ලෙස එබඳු විස්තර දෙන්න.

මරණිය පව්ගැන පුළුවන් තරමින් ස්ථිර ගණන දීම අවශ්‍යය. සුළු පව් ගැනද අඩු තරමින් දවසකට හෝ සතියකට හෝ මාසයකට කීවරක් ද කියා දැන්වීම සුදුසුය.

අවංකව තම සියළු පව් මතක් කළාට පසු, ඒවා ගැන අවංක දුක්මනස්තාපයක් අප හද තුළ ඇති කරන්නට වෑයම් කරමු. අපගේ පව් ගැන දුක්මනස්තාප වීමට ප්‍රධාන හේතු,

(1) අපගේ පව් මගින් යහපත් පියාණන් වහන්සේට ප්‍රති ප්‍රේමය නොදැක්වීම.
(2) අපගේ පව් නිසා නැවත වරක් ක්‍රිස්තුස් ස්වාමින්  වහන්සේව කුරුසියේ ඇණ ගැසීම.
(3) අපගේ පාපවලට දේව දඬුවමක් නියම වීම.

හොඳ පාපොච්චාරණයක් කිරීම සඳහා ඉටුකල යුතු කරුනු.

  1. තමාගේ පව් සිහි කිරීම.
  2. ඒවාට දුක්මනස්ථාප වීම.
  3. මින්මතු පව් නොකරන්නට ඉටා ගැණීම.
  4. පව් සියල්ලම පියතුමනට දන්වා සිටීම.
  5. පියතුමන් නයම කරන දඬුවම් පිලිපැදීම.
පාපොච්චාරණයට පෙර යාච්ඤාව

අතී ප්‍රේමනීයවු ජේසුස් ක්‍රිස්තුනි, මා කල සියලු පාපවල් නිසිලෙස සිහිකර ගැණිමටද, ඒවාට සැබෑ මනස්ථාපයක් ඇතිකර ගැණිමටද, මින් මතු පව් නොකිරීමට ස්ථිර අධිෂ්ඨානයක් ඇතිකර ගැණිමටද, මට ශක්තිය හා ධෛර්ය දානය කල මැනව. පව්කාරයන්ගේ සරණයැවු. නිර්මල මතාවෙනි, යහපත් පාපොච්චාරණයක් කර ගැණිමට මට පිහිට වුව මැනව.  ආමෙන්

2. පාපොච්චාරණය කරද්දී.

කුරුසිය ලකුණු කරන්න.
“පියාණනි, පව්කාරවු මට ආශීර්වාද කළ  මැනව” යන වචන  කියන්න.

අන්තිම පාපොච්චාරණය කළේ කවරදාද කියා පූජාප්‍රසාදිතුමාට දන්වන්න. (සති හෝ මාස කීයකට පෙරද?)

සැලකිය යුතුයි :- කරුණාකර, අපරාධකාරවූ මම යන යාච්ඤාව මේ වෙලාවේ පියතුමා ලඟ කියන්නට එපා.

පසුගිය පාපොච්චාරණයේ සිට කළ පව් දැන් පැහැදිළිව ගණන් හා විස්තර ඇතිව කියන්න.

පව් කීවාට පසු. “පියාණෙනි, මතක ඇති පව් මෙපමණයි. මේවාටත් මතකනැති පව්වලටත්, මම ක්ෂමාව හා දඬුවම් ඉල්ලමි” යන වාක්‍ය කියන්න.

දැන් පූජාප්‍රසාදිතුමාට ප්‍රවේසමෙන් ඇහුම්කන් දෙන්න. එතුමාගේ ප්‍රශ්න වලට අවංකව උත්තර දෙන්න. එතුමා ඔබට නියම කරන දඬුවම සතුටින් පිළිගන්න.

පූජාප්‍රසාදි තුමා දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔබට ක්ෂමාව දෙනවිට භක්ති වන්ත ලෙස දයාධික මනස්ථාපය කියන්න.

පාපොච්චාරණයටපසු යාච්ඤාව

දයාබර දෙවි පියාණනි, ඔබ පුතණුවන්ගේ දුක්ප්‍රාප්තිය හා ශ්‍රී මරණය මගින් මාගේ සියලු පාපයන්ට සමාව දීම ගැණ මා ඔබවහන්සේට අනේක වාරයක් තුති පුදමි. මින් මතු ඔබ පුතනුවන් පෙන්වූ දහම් මග ඔස්සේ මාගේ දිවිය ඔබවහන්සේට ප්‍රසන්න ලෙස ගත කිරීමට ඔබගේ ස්ප්‍රිතුව මා වෙත එවා වදාල මැනව.
ආමෙන්.

නුවාන ආරම්භය

පියතුමා : පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද, නාමයෙන්

සෙනඟ : ආමෙන්.

පියතුමා : ස්වාමින් වහන්සේ ඔබ සමඟ වන සේක්වා.

සෙනඟ : ඔබ සමඟද වන සේක්වා.

පියතුමා :
   ලෝ අසීමිත ප්‍රේමයෙන්  සුරලොවින් මෙලොවට වැඩම කළ කරුණාසාගරවූ ළමා ජේසුනි. / සකල මනුෂ්‍ය වර්ගයා ඔබවහන්සේ වෙත ගෙන ඒම සඳහා රජ මාලිගාවක නොව දිළිඳු ගවලෙනක උපත ලැබූ ඔබහන්සේ / ඔබගේ  උපතේ සුභාරංචිය ඉමිහිරි නාදයෙන් අහස් මඬලේ සුරදූතයන් පතුරද්දී දිළිඳු  ගොපලුන් ඔබවහන්සේ වෙතට කැඳවාගත් සේක්වේද / හෙරෝද්ගේ කුරිරු  කපටි කම් ප්‍රකාශ වෙද්දී ප්‍රඥාවන්ත  රජතුන් කට්ටුවක් පූර්ව දිසාවෙන් ඔබවහන්සේ වෙතට කැඳවාගත් සේක.

දෙළොස් වියේ ජෙරුසලෙම් දේව මන්දිරයේ වේද පණ්ඩිතයින් මැද, ඔබගේ දිව්‍ය ඥාණයේ විස්කම් පාමින් සිටියදී / ඔබගේ, මවගේත් සුරැකි පියාගේත් ඇවිටිලිවලට සවන්දී ඔවුන් සමඟ නසරෙත් ග්‍රාමයට වැඩමකර ඔවුන්ට යටත්වි දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි ඥාණයෙන්ද , වයසින්ද, වරප්‍රසාදයෙන්ද වර්ධනය වෙමින් සිටිසේක්වේද? / අප පෙම්බර දිව්‍ය ගැළවුම් කාර ළමා ජේසුනි, ජිවිතයේ නොයෙක් දුක්කරදර වලින් හෙම්බත්ව අසරණව කරදරකාරී ජිවිත ගත කරන අප, පුදුම කිරීමට හේතුවූ ඔබ ප්‍රතිමාව ඉදිරියෙහි ඉමහත් විශ්වාසයෙන් හා බලාපොරොත්තුවෙන් සශ්ටාංගයෙන් වැඳ වැටී කරන කන්නලව්වලට ඔබගේ සවන් යොමුකර ඔබගේ පූජනීය දෙඅත් දිගුකර ඔබගේ ගෞරවය සඳහා පිදෙන මෙම නුවාන පූජාවේලේදී අපට ආශීර්වාද කල මැනව. / යහපත් ක්‍රිස්තියානි ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය සෑම වරප්‍රසාදයක්ම දානයකර අපේ සෑම ඉල්ලීමක්ම ඔබගේ මොලකැටි දෝතින් දානය කළ මැනව – ආමෙන්

සමූහ ගායනය

ගීය :-                   (නැගිටින්න)

  1. දේව මව් කුසේ ජිවිතේ ලබා
    බිහිව ගවහලේ දුකට පා තබා
    බාල විය ගෙවූ – දේව බිළිඳුනේ
    දුගී අපට අපේ පැතුම – ලබා දෙනු මැනේ
  2. දේව බව ඔබේ – මනු බවෙන් වසා
    මෙලොව වැඩ විසූ – මිනිස් අප නිසා 
    දිළිඳු බිළිඳුනේ – බිළිඳු ගවලෙනේ
    අසනු අපේ යැදුම – තබන ඔබේ දෙසවනේ
සමාව යැදීම

පි : ශුද්ධවන්තයන් නොව පව්කාරයන් ඔබ වෙතට කැඳවා ගැනීමට මෙලොවට වැඩම කළ ගැළවුම්කාර ළමා ජේසුනි, පුදුම කිරීමට හේතුවූ ඔබවහන්සේ ඉදිරියෙහි විශ්වාසයෙන් හා මනස්තාපයෙන් දනින් වැටි සිටින අපට ඔබගේ අසීමිත අනුකම්පාව දානය කල මැනව.

සි : ගැලවුම්කාර ළමා ජේසුනි, අපට සමාවුව මැනව.

පි : දෙව්පියාණන්ට නිතර මහිමය හා ගෞරවය ලබාදීමට වෙහෙසුනාවූ දේව පුත්‍ර ළමා ජේසුනි / සිතින් වචනයෙන් හා ක්‍රියාවෙන් අපේම ගෞරවය බලාගෙන ප්‍රයෝජනය සොයමින් කළ වැරදිවලට කණගාටුවෙමි.

සි : ගැලවුම්කාර ………………

පි : “ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න” යන අලුත් පනත අපට දානය කළ, සහෝදර දයාවේ උල්පත වන ළමා ජේසුනි, / ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් පලිගැනීමෙන් හා තන්හාවෙන් අප කල වැරදි ගැන කණගාටුවෙමු.

සි : ගැලවුම්කාර ………………

පි : “මාගේ පියාණන්ගේ කැමැත්ත ඉටුකිරීමට මෙලොවට පැමිණියෙමි” යි වදාළ කීකරු කමේ කෙන්ද්‍රස්ථානය වන ළමා ජේසුනි / වගකීම් භාර නොගෙන යුතුකම් ඉටු නොකර දේව කැමැත්තට පිටුපාමින් අප කල සියලු වැරදි ගැන මනස්තාප වෙමු.

සි : ගැලවුම්කාර ………………

පි : “මාර්ගයත්, සත්‍යයත්, ජීවනයත්, මම වෙමි” යි වදාළ ක්‍රිස්තියානි ජිවිතයේ ආදර්ශය වන ළමා ජේසුනි, මිනිස් බවේ අබල දුබල කම් නිසා පාපයන්ට පෙළඹුන අප, ඒවායින් මිදීමට පොරොන්දු වෙමු.

සි : ගැලවුම්කාර ………………
සියලු බලැති  දෙවියන් වහන්සේ ……
දිව්‍ය පූජාව (හෝ ආශීර්වාදය) ……
සුවිශේෂයට පසු දේශනාව සහ කෙටි භාවනාව.

විශේෂ ඉල්ලීම් සහ පොදු ප්‍රාර්ථනය – ඉල්ලීම් 

අපි යාච්ඤා කරමු.

පි : සදා පුජකයාණන්වූ ජේසුනි, අප ශුද්ධෝත්තම පියතුමාණන්ද, රදගුරු හිමිපාණන් හා මුළු රාජගුරු මණ්ඩලයද, පූජාප්‍රසාදිවරුන් හා තාපසිකාවන්ද, ආරක්ෂා කර මෙලොවේ ආගන්තුකවූ මෙම දේව සෙනග ඔබකරා ගෙනයාමට වරප්‍රසාද ඔවුනට දානය කරන පිණිස,

සි : ගැළවුම්කාර ළමා ජේසුනි,
අප යාච්ඤා අසා වදාල මැනව.

පි : අප ජනරජයේ නායකයින් හා පාලකයින් ආරක්ෂාකර, රට වැසියන් ප්‍රේමයෙන්ද, සාමයෙන්ද, යුක්ති ධර්මයෙන්ද, ජිවත්වනු පිණිස පාලක හා පාලිත දෙපක්ෂයටම අවශ්‍ය මග පෙන්වීම හා පඥාව ලබාදෙනු පිණිස,

සි : ගැළවුම්කාර ළමා ජේසුනි,
අප යාච්ඤා අසා වදාල මැනව.

පි : ජිවිතයේ නොයෙකුත් ප්‍රශ්නවලින් හෙම්බත්ව අසරණව, කරදරකාරී ජිවිත ගතකරන මව්වරුන්ට හා පියවරුන්ට අනුකම්පාකර ඔවුන්ගේ ඇස් වලින් කඩා හැලෙන කඳුලු ඔබගේ සුරතින් පිස දමන පිණිස,

සි : ගැලවුම්කාර ළමා ජේසුනි, අප ……….

පි : අප තරුණ තරුණියන් විනයානුකුල හැසිරීමකින් යුත්, වගකීමක් ඇති දේව දරුවන් මෙන් ජිවත් වනු සඳහා, ඔවුන්ට අවශ්‍ය පිහිටාශීර්වාදය ලබා දෙන පිණිස.

සි : ජේසුනි …….

පි : මෙම නොවාන මෙහෙයට සහභාගි වන සියල්ලන්ටම දයාව පෙන්වා, ඔවුන්ගේ ඉල්ලීම් ලබාදෙන පිණිස,

සි : ජේසුනි …….

දිව්‍ය සත්ප්‍රසාදය ලැබුවාට පසු.

 

නොවාන යාච්ඤාව

කුඩා දරුවෙකුගේ වෙස්ගෙන / අප මැදට වැඩම කලාවූ / සියලු බලැති සදාතන දෙවියනි / ඔබ වහන්සේ ඉදිරියේ දනින් වැටි / ඔබේ අනන්ත බලයත් යහපත් කමත් / කරුණාවත් හා මහිම තේජසත් ගැන / මෙනෙහි කරන අසරණ අප දෙස / බලා වදාල මැනව.

දේව බිළිඳාණනි, / යහපත් වුවනට හා අයහපත් වුවනට / හිරු තාපය ලබාදෙන හිරුමෙන් ශාන්ත බවේ හා සමා බවේ ආලෝකය දෙන / ඔබේ ශුඬවු මුහුණ / අපි මෙනෙහි කරමු. / ඔබේ කරුණාබර බැල්ම අප දෙස යොමුකල මැනව. / අප ජීවිතයන් / අවංක සිත් හැරීමකින් / ඔබ වෙත හරවාලුව මැනව. අප විනිශ්චය දිනේදී / ඔබේ යුක්ති සහගත කෝපයෙන් / අප බේරාගත මැනව.

දෙවියන් වහන්සේගේ පුත්‍රවූ ජේසුතුමණනි / ස්වර්ගීක  ප්‍රඥාවෙන් පිරුණාවුද / පව් සමාවේ වචන වදාරණ / ඔබේ ශුඬවූ දෙතොල / ආදර භක්තියෙන් යුතුව, / අපි ප්‍රශංසා කරමු. අපේ නොනිසි වචන නිසා දිනක ඔබ ප්‍රකාශ කරන / සදා තීන්දුවෙන් අප ආරක්ෂාවනු පිණිස / අපේ තොල්වලින් අකරුණාවේ අදහස් හා පාපිවු වචන / පිට නොවනු පිණිස / ස්වාමින්වහන්ස / ඒ මත මුද්‍රා තැබුව මැනව / අපේ හද තුලත් අපේ / දිව මතත් ඔබේ සත්‍යය හා ප්‍රේමය නිතර ආරක්ෂා වේවා. /

දයා ප්‍රේමයෙන් පිරුණ ජේසු බිළිඳුනි / මුළු ලොවම / ඔබේ ප්‍රේමයේ බැම්මෙන් වෙලා ගැනීම සඳහා දිගුකරන ඔබේ පූජනීය දෙඅත් / මහත් භක්ති ප්‍රණාමයෙන් යුතුව /  අපි සිප ගනිමු. / මුලු විශ්වයම මෙහෙයවන හා පාලනය කරන ඔබේ දෙඅත අපි නමස්කාර කරමු. / අපේ සෑම ක්‍රියාවක්ම / ඔබේ මහිමය සදහා යොමු කරවන මෙන්ද / විශ්වාසයෙන් යුතුව යදින්නාවූ ඔබේ සැදැහැවතුන් දෙස / දකුණත දිගු කරන මෙන්ද / අපි ඉල්ලා සිටිමු / ආමෙන්.

ලොවට සාමය

ලොවට සාමය ලබාදුන් / අප ගැලවුම් කාරයාණන්ගේ දිව්‍යමය පාදයන්ට / සදහටම නමස්කාර වේවා. / වෙහෙසවීම් හා පීඩාවන් මැද / අවුරුදු තිස් තුනක් / අප හට දක්වන ලද ප්‍රේමය නිසා / ඔබ කොපමණ වරක් පා නැගූ සේක්ද? / සුර බිළිඳුනි / දහස් වරක් අපි ඔබට ස්තුති කරමු / මාර්ගයත් , සත්‍යයත්, ජීවනයත් වන ඔබ කරා එන / ඒ ඇද නැති මග ඔස්සේ / අපේ හෘදයන් යොමුකළ මැනව.

ජේසුතුමන්ගේ අති ප්‍රේමවන්ත ශ්‍රී හෘදයෙනි / අපේ ගැලවීම පතා, කෑ මොරදුන් / ඔබට දහස් වරක් අපි ස්තුති කරමු. / ඔබ තුළ නිබුණ දේව ප්‍රේමය / ඔබේ ස්වර්ගික පියාණන්ට අපි ඔප්පු කරමු. අපේ හෘදයන්හි / උදාසීනතාවය ගැන අප කොපමණ ලැජ්ජාවට පත් විය යුත්තෙමු ද? / පිටාර ගලාගිය / ඔබේ ප්‍රේමය උදෙසා / ප්‍රති ප්‍රේමය දැක්වීමේදී / අපි කොපමණ උදාසීන වූයෙමු ද? ස්වාමින් වහන්ස / මෙම නිසරු හෘදයන් අපෙන් ඈත් කර / ඔබගේම හෘදයට සමානවූ හෘදයක් / අප එකිනෙකාට දානය කළ මැනව. / ක්‍රියාශීලි ප්‍රේමයකින් ඔබට ප්‍රේම කරන්ට / අපට උදව් වුව මැනව. මා නිසා කුඩා දරුවෙකු වූ ක්‍රිස්තුස් වහන්ස /  “බාලයන් මා වෙතට එන්න ඉඩ දෙන්න, මක්නිසාදයත් ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය” යන වචනින් බාලයන් ඔබ වෙතම අඬගසන / ඔබ වහන්සේ එම බාලයන්ගේ නිර්දෝෂත්වයද, බැගෑපත් කම ද, අවංකකමද අපට ලබාදුන මැනව. ආමෙන්

ලැබූ වරප්‍රසාද සඳහා ස්තුතිදීමේ යාච්ඤාව

දේව බිළිඳාණෙනි / ඔබ වහන්සේ ඉදිරියේ / දණ හොවා සිටින මා, ඔබ මට දානය කරන ලද සියලුම වරප්‍රසාදයන් හා දීමනාවන් සඳහා / මාගේ හෘදයාංගම ස්තුතිය / ඔබට පුද කරමි. ඔබගේ කරුණාව / සදහටම මා ගායනා කරමි. ඔබ පමණක් / මගේ දෙවියන්ද / උපකාරයාණන් හා  රැකවරයාණන් බව / ලොවට මොරගා උච්චාරණය කරමි. අද පටන් / මගේ දෙවියන්වූ ඔබ තුළ / මාගේ විශ්වාසය තබමි. සෑම තැන කම ඔබේ කරුණාවද ත්‍යාගශීලී භාවයද / ප්‍රකාශ කරමි. මෙම ආශ්චර්යමත් ප්‍රතිමාව මගින් / ඔබ දක්වන විශිෂ්ඨ ප්‍රේමයද / සැදැහැවතුන් හට ලබා දෙන්නාවූ නොයෙක් දීමනාද / සියල්ලෝ දැන ගනිත්වා. / සියලුම කිතුනුවන් තුළ / ඔබගේ ශුඬවූ බාලපරාය කෙරෙහි / ආදර භක්තිය වඩ වඩා දියුණු වේවා. / ඔබගේ පිහිටාශිර්වාදය ලබන්නාවූ / සෑම දෙනාම මා සමග ඔබට / සදහටම කෘතඥතාවය දක්වත්වා / ඔබට සදහටම ප්‍රශංසාවත් / මහිමයත් අත්වේවා.

ජේසු බිළිඳුනි / කුඩාවූවන්ගේ හිත මිතුරාණනි / මුළු ලොවේම / කුඩා දරුවන් ආශීර්වාද කළ මැනව. ආමෙන්.

කුඩා ළමුන් ආශීර්වාද කිරීම.

ප්‍ර : අපගේ ආධාරය ස්වාමින් වහන්සේගේ නාමයෙහිය.

උ : උන්වහන්සේ අහසත් පොළවත් මැව් සේක,

ප්‍ර : අපගේ දෙවියන්වහන්සේ දයාවන්ත වනසේක.

උ : ස්වාමින් වහන්සේ කුඩාවූවන් ආරක්ෂා කරන සේක.

ප්‍ර : ස්වාමිනි, මාගේ යාච්ඤා අසා වදාළ මැනව.

උ : මාගේ මොර ගැසීම ඔබ වෙත පැමිණේවා.

ප්‍ර : ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා,

උ : ඔබේ ආත්මය සමගද වන සේක්වා.

අපි යාච්ඤා කරමු.

අනන්තයේ ජනිත වූ නමුත් කාලයෙහි දී බිළිඳකු මෙන් බිහිවීමට කරුණා අභිප්‍රාය කළා වූ ද, ළදරුවියේ නිර්දොෂත්වයට ආලය දක්වන්නාවූ ද, ඔබ වෙත ගෙනෙන ලද කුඩා දරුවන් ආදරයෙන් වැළඳ ගෙන ආශීර්වාද කළාවූ ද, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවාණෙනි, ඔබගේ ළයාන්විත ආශීර්වාදයෙන් මෙම කුඩා දරුවාගේ (දරුවන්ගේ) අවශ්‍යතාවන් කල්මත්තෙන් සලකා බලා ඔහුගේ (ඇගේ – ඔවුන්ගේ) චිත්තය කිසිම නපුරකින් දුෂ්‍යවීමට ඉඩ නොදී ඔහු (ඇය – ඔවුන්) වයසින්ද ඥානයෙන් හා වරප්‍රසාදයෙන් ද, වැඩෙනාතර ඔබට ප්‍රසන්න වන ආකාරයෙන් ජිවත්වන ලෙස සලසා වදාළ මැනව, මෙකීදේ පිතාවන දෙවියන් සමග ස්ප්‍රීතු සාන්තු එකත්වයෙහි සදාකල් වැජඹෙන්නාවූ ද රජකම් කරන්නාවූද, ඔබ උදෙසාම ලැබේවා. ආමෙන්. 

Get The Full Book From Here – Download

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...